ආමෝස් 6

6
තරවටුවක්
1සියොනෙහි සැප පහසුව කල් ගෙවන,
සමාරි කන්දේ සුරක්ෂිත හැඟුමින් සිටින ඇත්තනට දුක් වේ!
ඉශ්‍රායෙල් වංශිකයින් පැමිණෙන්නේ
ප්‍රමුඛ ජාතියේ විශිෂ්ටයන් වන නුඹලා වෙතට ය.
2කල්නේ වෙත යන්න; එහි ගොස් බලන්න,
එතැනින් මහ හමාත් වෙත යන්න;
ඉන්පසු, පිලිස්තිවරුන්ගේ ගාත් වෙත යන්න,
ඔබගේ රාජධානිවලට වඩා ඒවා සාරවත් ද?
නැතහොත් ඔබේ දේශයට වඩා ඒවා විශිෂ්ට ද?
3නුඹලා විනාශයේ දවස කල් දමන්නට හදමින්
සැහැසිකමේ ආසනයක් ළඟා කරවති.
4නුඹලා, ඇත්දත් යහන්වල දිගා වෙමින්,
කවිච්චි මත පහසුවෙන් කල් ගෙවති;
රංචුවේ බැටළු පැටවුන්ගේ හා ගව පට්ටියේ
වහු-පැටවුන්ගේ මසින් සප්පායම් වෙති.
5වීණා වැයුමට ඔහේ ගී ගයන නුඹලා
දාවිත් මෙන් සංගීත භාණ්ඩ වැයුමට ලොල් වෙති.
6බඳුන් පුරවා මිදි යුෂ පානය කරන නුඹලා,
අනගිතම තෙල් ඇඟ ගල්වති.
එහෙත්, නුඹලා යෝසෙප් වංශයේ විනාශය ගැන ශෝක වන්නේ නැත.
7එබැවින්, වහල්කමට පළමුවෙන් ම යන්නවුන් අතර නුඹලා ද වනු ඇත.
නුඹලාගේ සැප සාද හා පහසුගැනීම් පහ වී යයි.
ඉශ්‍රායෙල්ගේ අහංකාරය ගැන ස්වාමින්වහන්සේගේ පිළිකුල
8පරමාධිපති ස්වාමින්වහන්සේ තමන් ගැන ම දිවුරූ සේක්; සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක්:
“යාකොබ්ගේ අහංකාරය මම පිළිකුල් කරමි.
ඔහුගේ බළකොටුවලට දැඩි සේ වෛර කරමි;
මම ඒ පුරය සමඟ එහි ඇති සියල්ල ද
පාවා දෙන්නෙමි.”
9එක් ගෙදරක මිනිසුන් දහ දෙනෙක් ඉතිරි වුව ද ඒ සියල්ලෝ මියෙන්නෝ ය. 10ඒ මළ-සිරුරු ආදාහනය පිණිස, ඒවා ගෙයින් පිටතට ගෙන යන්නට එන නෑයකු, ගෙතුළ තවත් කිසිවකු හෝ සැඟවී සිටීදැයි විමසමින්, “තව කවුරුවත් ඉන්නවදෝ” යි කී කල, “නැතැ” යි ඔහු පවසනු ඇත. එවිට ඔහු, “නිශ්ශබ්ද වන්න! ස්වාමින්වහන්සේගේ නාමය අප විසින් සඳහන් නො කළ යුතු යැ” යි කියනු ඇත.
11මන්ද අන්න, ස්වාමින්වහන්සේ අණ කළ සේක්;
විසල් නිවස කැබලිවලට බිඳ,
කුඩා නිවස කුඩු-පට්ටම් කර දැමේ.
12අශ්වයින් ගල් පර්වත පිට දුවනවා ද?
හරකුන් යොදා යමකුට ඒ මත#6:12 ඒ මත හෙවත් මුහුදේ සී-සෑ හැකි ද? සී-සෑ හැකි ද?
එහෙත්, යුක්තිය වස-විසට පෙරළූ නුඹලා,
දමිටුකමේ පල තිත්ත කරවූහ.
13ලෝ-දෙබාර්#6:13 ලෝ-දෙබාර් හෙවත් ශූන්‍යතාව ජයග්‍රහණය ගැන ප්‍රමෝද වන නුඹලා,
“අපි අපේ ම ශක්තියෙන් කර්ණායිම්#6:13 කර්ණායිම් හෙවත් බලය අල්ලා නො ගත්තෙමු දැ?” යි කියති.
14මන්ද සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන්නේ:
“එම්බා ඉශ්‍රායෙල්, බලනු. මම නුඹට එරෙහිව ජාතියක් පොලඹවන්නෙමි;
ඔවුන් ලෙබෝ-හමාත්හි සිට අරාබා නිම්නය දක්වා
නුඹලාට පීඩා කරනු ඇත.”

선택된 구절:

ආමෝස් 6: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요