ආමෝස් 5

5
පසුතැවිල්ලට
1නුඹ ගැන මා නගන ශෝක-විලාපයේ මේ වචනවලට සවන් දෙන්න, එම්බා ඉශ්‍රායෙල් වංශය:
2“ඉශ්‍රායෙල් කන්‍යාවිය වැටී ගියා ය,
යළි ඇය නැගිටින්නේ නැත.
නැගිට සිටුවන්නට කාත්-කවුරුවත් නැතිව
තමන්ගේ ම දේශයේදී ඇය අත්හරිනු ලැබ ඇත.”
3පරමාධිපති ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“පුරවරයකින් පිටත් වන දහසකගෙන් ඉතිරි වන්නේ
සිය දෙනකු පමණි.
අන් තැනකින් පිටත් ව යන සියයකගෙන්
ඉශ්‍රායෙල් වංශයට ඉතිරි වන්නේ දස දෙනකු පමණි.”
4මන්ද ස්වාමින්වහන්සේ, ඉශ්‍රායෙල් වංශයට පවසන්නේ මෙයයි:
“මා වෙත හැරී, ජීවත් වන්න;
5බෙතෙල් දෙස නො හැරෙන්න,
ගිල්ගාල් වෙත ඇතුළු නො වන්න,
බෙයර්ෂෙබා හරහා ගමන් නො කරන්න.
මන්ද, ගිල්ගාල් නියතයෙන් ම වහල්කමට පිට මං කෙරේ.
බෙතෙල් ශූන්‍ය බවට පත් වේ.”
6 ස්වාමින්වහන්සේ සොයා, ජීවත් වන්න.
නැතහොත් උන්වහන්සේ යෝසෙප් වංශය සිසාරා ගින්නක් පැතිර යනු ඇත.
එය නිවා දමන්නට කිසිවකු නොමැතිව
බෙතෙල් පුරය සමඟ දැවී යනු ඇත.
7අහෝ යුක්තිය තිත්ත-කෂායකට හරවන නුඹලා,
දමිටුකම බිමට ඇද දමන්නහු ය.
8හත්දින්නත හා මුව සිරස සෑදූ,
රෑ-කළුවර, අරුණාලෝකයට ද
දහවල, රෑ අඳුරට ද හරවන,
සාගර ජලය ඉහළට කැඳවා,
පොළෝ තලේ පිට වගුරු වන
තැනැන්වහන්සේගේ නාමය ස්වාමින්වහන්සේ ය.
9ශක්තිවන්තයිනට එරෙහිව විනාශය විද හරින උන්වහන්සේ
එසේ බළකොටුව පිටට විනාශය ගෙනෙන සේක.
10ඔවුහු පුර දොරටු අධිකරණයේදී තරවටු කරන්නාට වෛර කරති.
ඇත්ත කතාකරන්නාට ගර්හා කරති.
11එබැවින් නුඹලා දුප්පතුන් පාගා දමමින්,
අයුතු-බදු මගින් ඔවුන්ගේ ධාන්‍ය උදුරා ගන්න නිසා
නුඹලා ගලින් බැඳි මාලිග තනතත්,
ඒවායේ වාසයට නුඹලාට ඉඩ නො ලැබේ;
නුඹලා මනරම් මිදි වතු වැව්වත්,
ඒ මිදිවල යුෂ බොන්නට නුඹලාට වර නො ලැබේ.
12මන්ද, නුඹලාගේ අයුතුකම් කොපමණ ද කියාත්,
නුඹලාගේ පාප කොතෙක් ඉමහත් ද කියාත් මම දනිමි.
දමිටුන්ට පීඩා පමුණුවමින්, අල්ලස් ගන්නා නුඹලා
පුර දොරටු අධිකරණයේදී යුක්තිය පෙරළා, දුප්පතුන් පෙළති.
13එබැවින් නුවණැත්තෝ එකල්හි නිහඬතාව සුරකින්නෝ ය.
මන්ද එය නපුරු කාලයක් වන බැවිනි.
14ඔබ ජීවත් වන පිණිස
යහපත කරන්න. නපුර නො වේ.
එවිට, ඔබ කියා ඇති පරිදි,
සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබ සමඟ වන සේක.
15නපුරට වෛර කරන්න; යහපතට ප්‍රේම වන්න.
පුර දොරටු අධිකරණයේදී යුක්තිය ස්ථාපන කරන්න.
එවිට, සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ
යෝසෙප් වංශික ඉතිරි ස්වල්ප දෙනාට දයාන්විත වන සේක.
16එබැවින්, ස්වාමි වූ සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ පවසන්නේ මෙයයි:
“හැම එළිමහන් පිටියක ම අඳෝනා නැගෙනු ඇත;
හැම වීදියක ම අහෝ! අහෝ! යයි කියනු ලබන්නේ ය.
ශෝක වන පිණිස ගොවීන් ද
ලතෝනි දීමට කුලියට හඬන ශිල්පීන් ද කැඳවනු ලබනු ඇත.
17හැම මිදි වත්තක ම අඳෝනා නැගේ;
මන්ද, මම ඔබ මධ්‍යයේ ඔබ පසු කර යන්නෙමි” යි
ස්වාමින්වහන්සේ පවසන සේක.
ස්වාමින්වහන්සේගේ දවස
18 ස්වාමින්වහන්සේගේ දවස ගැන
දැඩි ආශාවෙන් සිටින අයට දුක් වේ!
ඔබ ස්වාමින්වහන්සේගේ දවස බලා සිටින්නේ ඇයි?
එය අන්ධකාරය ය. ආලෝකය නො වේ.
19ඒ දවස, සිංහයකුගෙන් බේරෙන්නට දුවන මිනිසාට
වලසකු හමුවන්නා වැනි ය.
තම නිවසට පිවිසෙන මිනිසා
ගෙදර බිත්තියට අත තැබූ කල,
සර්පයකු දෂ්ට කරන්නා වැනි ය.
20 ස්වාමින්වහන්සේගේ දවස අන්ධකාරය ම නො වන්නේ ද?
එය ආලෝකය නො වේ. එක් බිඳකුදු දීප්තියක් නැති කළුවර ම ය.
21“නුඹලාගේ ආගමික මංගල්‍යවලට මම ද්වේෂ කරමි; ඒවා නීච කොට සලකමි.
නුඹලාගේ එක් රැස්වීම් මට රුස්සන්නේ නැත.
22ඔබ මට දවන යාග පූජා ගෙනෙතත්, ධාන්‍ය පූජා ගෙනෙතත්,
මම ඒවා නො පිළිගන්නෙමි.
ශාන්ති පූජා සඳහා තර කළ සතුන් ගෙනෙතත්,
මම ඒ දෙසවත් නො බලමි.
23ඔබේ ගීත කරච්චලය නවත්වන්න.
ඔබේ වීණා සංගීතයට මම සවන් නො දෙන්නෙමි.
24එහෙත් යුක්තිය ගංගාවක් සේ ද
දමිටුකම සදා නො සිඳෙන දිය දහරක් සේ ද ගලා යේවා!
25“පුරා හතළිස් වසරක් පාළුකරයේදී නුඹලා මා වෙත
යාග හා පූජා ගෙන ආවා ද, එම්බා ඉශ්‍රායෙල් වංශිකයිනි?
26නුඹලා, නුඹලාගේ රජුන්ගේ ධාතුකරඬු ද
නුඹලා උදෙසා නුඹලා ම තනා ගත්
නුඹලාගේ දේව පිළිමත්,
නුඹලාගේ දෙවියන්ගේ තාරකාවත් ඔසවා ගත්තහු ය.
27එබැවින්, මම දමස්කය පුරයෙනුත් එපිටට නුඹලා රටින් පිට මං කර දමන්නෙමි” යි
සේනාංකවල දෙවියන්වහන්සේ යන නාමය ඇති ස්වාමින්වහන්සේ පවසන සේක.

선택된 구절:

ආමෝස් 5: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요

ආමෝස් 5 동영상