ආමෝස් 4

4
ඉශ්‍රායෙල්, දෙවියන්වහන්සේ වෙත හැරී ආවේ නැත
1සමාරි කන්දේ සිටින බාෂාන්-එළ වැස්සියනි,
දුප්පතුන්ට පීඩා කරන, දුගියන් තළා-පෙළන,
“අපට බොන්නට ගෙනෙන්නැ” යි
තම සැමියනට පවසන්නනි,
මේ වචනය අසනු.
2පරමාධිපති ස්වාමින්වහන්සේ ස්වකීය ශුද්ධත්වයෙන් දිවුරා ඇති සේක්:
“ඔන්න ඔවුන් නුඹලා කොකුවලින් ඉවත ඇදගෙන යනු ලබන,
නුඹලාගේ අන්තිමයා බිලි කටුවකින් ඇදගෙන යනු ලබන
කාලයක් ඔන්න, නුඹලා පිට පැමිණෙන්නේ ය.
3පවුරේ බිඳුම් තුළින්
නුඹලා හැම කෙනකු ම පිටතට යනු ඇත.
හර්මොන් දෙසට#4:3 හර්මොන් දෙසට ඇතැම් විට හෙර්මොන් කන්ද දෙසට විය හැක. නුඹලා තල්ලු කර දමනු ඇතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
4“බෙතෙල් පුරයට එනු; අවුත්, පව් කරනු;
ගිල්ගාල්ට ද එනු; වඩ වඩා පව් කරනු;
ඔබගේ යාග පූජා හැම උදයක ම ද
ඔබගේ දසයෙන් කොටස් තුන් දවසකට වරක් ද ගෙන එනු.
5ස්තුති දීමනාවක් වශයෙන් මුහුන් මුසු රොටි දවා,
ඔබේ ස්වේච්ඡා පූජා ගැන ප්‍රකාශ කරමින්,
පුරසාරම් දොඩනු, ඉශ්‍රායෙල් ජනයිනි;
මන්ද, නුඹලා කරන්නට ආශා ඒක යැ” යි
පරමාධිපති ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
6“හැම පුරවරයක ම මම නුඹලාට දත් සුද්දකම දුනිමි;
හැම තැනක ම නුඹලාට අහර අහේනිය දුනිමි;
එනමුත් නුඹලා මා වෙත හැරී ආවේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
7“ඒ හැර, අස්වනු නෙළීමට තුන් මසක් තියා,
මම නුඹලා වෙතින් වැසි වැළැක්වීමි.
මම එක් නගරයකට වැසි එවා,
තව නගරයකට වැසි වැළැක්වීමි.
කුඹුරකට වැසි වස්වා,
වෙනත් කුඹුරක් වැසි නැතිව වියළවා යැවීමි.
8නගර දෙකක් තුනක් බීමට ජලය සොයා,
තවත් නගරයකට ගෑටූ නමුදු, සෑහෙන තරම් ලද්දේ නැත.
එනමුදු නුඹලා මා වෙත හැරී ආවේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
9“මම ඔබේ වතු පිටි හා මිදි වතු පාළු කළෙමි;
ඒවාට කොළ-රෝගය හා පුස් රෝගය එවීමි.
පළඟැටි ඔබේ අත්තික්කා හා ඔලීව ගස් වනසා ලූහ;
එනමුදු නුඹලා මා වෙත හැරී ආවේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
10“මා ඊජිප්තුවට කළ ලෙස
නුඹලා අතරට වසංගත එවුවෙමි.
මම නුඹලාගේ අල්ලා ගත් අශ්වයන් සමඟ
නුඹලාගේ යෞවනයන් කඩුවට බිලි කළෙමි;
මම නුඹලාගේ නාස් පුඩු නුඹලාගේ කඳවුරුවල දුර්ගන්ධයෙන් පිරවීමි.
එනමුදු නුඹලා මා වෙත හැරී ආවේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
11“දෙවියන්වහන්සේ සොදොම හා ගොමොරාව බිඳ හෙළූ පරිදි,
මම, ඔබෙන් ඇතැම් දෙනකු බිඳ හෙළීමි.
නුඹලා ගිනි ගොඩෙන් ඉවතට ඇද්ද ඇවිළෙන දර කෝටුවක් වැන්න.
එනමුදු නුඹලා මා වෙත හැරී ආවේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
12“එබැවින් එම්බා ඉශ්‍රායෙල්වරුනි, මා දැන් නුඹලාට කරන්නට යන්නේ මෙයයි;
මා නුඹලාට මෙසේ කරන්නට යන බැවින්,
එම්බා ඉශ්‍රායෙල්, නුඹලාගේ දෙවියන්වහන්සේ මුණගැසීමට සූදානම් වනු.”
13කඳු-පර්වත හැඩ ගස්වන,
සුළං මවන,
ස්වකීය සිතුවිලි මිනිසාට හෙළි කරන තැනැන්වහන්සේ,
අරුණ උදය අඳුරට හරවන,
පොළොවේ උස් තැන් පිට සක්මන් කරන තැනැන්වහන්සේ,
සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ය යන්න උන්වහන්සේගේ නාමය ය.

선택된 구절:

ආමෝස් 4: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요