ආමෝස් 3

3
ඉශ්‍රායෙල්ට එරෙහි සාක්ෂි
1එම්බා ඉශ්‍රායෙල් ජනයිනි, නුඹලාට එරෙහිව, ඊජිප්තු දේශයෙන් පිටතට මවිසින් ගෙන එන ලද මුළු පෙළපතට එරෙහිව, ස්වාමින්වහන්සේ පැවසූ මෙවදන්වලට සවන් දෙන්න:
2“මේ මහ පොළොවේ සියලු පෙළපත් අතරින්
මගේ පළමු තේරීම වූයේ ඔබ පමණ ය.
එබැවින් නුඹලාගේ සියලු අයුතුකම්වලට
මම නුඹලාට දඬුවම් කරමි.”
3දෙදෙනකු එකඟ ව සිට තිබුණොත් මිස
එක් ව ගමනක් යා ද?
4සිංහයකු ගොදුරක් නැති විටෙක,
වන පෙතේ ගර්ජනා කරයි ද?
ගොදුරක් හසු නො වූ විටෙක,
සිංහයකු තම ලෙන තුළ ගොරවයි ද?
5උගුලට ඇමක් අටවා නැති විටෙක,
කුරුල්ලකු එහි හසු වේ ද?
උගුලට යමක් හසු නො වූ විටෙක,
හබකක් බිමින් ගැස්සෙයි ද?
6පුරවරයක යුද්ධ හොරණෑ හැඬවෙන කල,
එපුර වැසියන් තැති නො ගනී ද?
ස්වාමින්වහන්සේ නො කළ සේක් නම්,
පුරවරයකට විපත්තිය පැමිණේ ද?
7මන්ද තම සේවකයින් වන දිවැසිවරුනට
තම රහස හෙළි නො කර,
පරමාධිපති ස්වාමින්වහන්සේ කිසිවක් කරන්නේ නැත.
8සිංහයා ගර්ජනා කළේ ය.
භය නො වන්නේ කවුරු ද?
පරමාධිපති ස්වාමින්වහන්සේ කතා කළ සේක.
දිවැසි වැකි නො පවසන්නේ කවුරු ද?
9අෂ්දෝද් බළකොටුවලට හා
ඊජිප්තු දේශයේ බළකොටුවලට මෙසේ ප්‍රකාශ කරන්න:
“සමාරියේ කඳුවලට එක් රැස් වන්න,
ඇය මධ්‍යයේ ඇති නො සන්සුන් භාවය හා
එහි ජනයා අතරේ වන පීඩාව බලන්න.”
10“සැහැසිකම හා මංකොල්ලය තම බළකොටුවල ගොඩ ගසා ගෙන සිටින
මොවුන් හරි දේ කරන්නට දන්නේ නැතැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
11එබැවින්, පරමාධිපති ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“සතුරකු දේශය වට කොට,
ඔබගේ ආරක්ෂක විධි විධාන බිඳ හෙළා,
ඔබගේ බළකොටු කොල්ලකනු ඇත.”
12 ස්වාමින්වහන්සේ මෙසේ පවසන සේක:
“බැටළු ගාතයක්, දෙකක් හෝ කන් කැබැල්ලක්
එඬේරකු, සිංහ මුඛයෙන් මුදා ගන්නා සේ,
සමාරියේ වෙසෙන ඉශ්‍රායෙල්වරු ගලවනු ලබන්නාහ.
ගලවනු ලබන්නේ ඇඳකින් ලී කැබැල්ලක් හෝ යහනකින් රෙදි කෑල්ලක් හෝ වැනි
ඉතා ස්වල්ප දෙනෙක් පමණි.
13“සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මෙසේ ප්‍රකාශ කරන සේක: ‘මේ අසා, යාකොබ් වංශයට එරෙහිව සාක්ෂි දරන්න.’
14“ඉශ්‍රායෙල්ගේ පාප උදෙසා ම දඬුවම් පමුණු වන දවසේ,
මම බෙතෙල්හි පූජාසනවලට දඬුවම් කරන්නෙමි.
පූජාසනයේ අං සිඳ දමනු ලැබ,
බිම හොවා දැමේ.
15සිසිර මාලිගය සමඟින්
ගිම්හාන මාලිගයට මම පහර දෙන්නෙමි.
ඇත්-දළින් අලංකෘත නිවාස විනාශ කෙරේ.
මහ මන්දිර ද නටබුන් කෙරේ යැ” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.

선택된 구절:

ආමෝස් 3: SCV

하이라이트

공유

비교

복사

None

모든 기기에 하이라이트를 저장하고 싶으신가요? 회원가입 혹은 로그인하세요