උත්පත්ති 34

34
දීනා හා ෂෙකෙම්
1යාකොබ්ට දාව, ලෙයා බිහි කළ දියණිය දීනා, එපෙදෙසේ කාන්තාවන් බැහැදැක්මට ගියා ය. 2එවිට දේශාධිපති හිවීය ජාතික හාමොර්ගේ පුත් ෂෙකෙම්ට ඇය දක්නට ලැබිණ. ඔහු ඇය බලෙන් අල්ලාගෙන, ඇය සමඟ සයනය කර, ඇය දූෂණය කළේ ය. 3ඔහුගේ සිත, යාකොබ්ගේ දියණිය වූ දීනා වෙත තදින් ම ඇදී ගියෙන්, ඔහු ඒ තරුණියට පෙම් බැඳ, ඇයට මුදු වදන් පැවසී ය. 4එබැවින් ෂෙකෙම් තම පියා වන හාමොර් අමතා, “මේ තරුණිය මගේ බිරිඳ වශයෙන් ලබා දෙන්නැ” යි කීවේ ය.
5තම දියණිය වූ දීනා අපවිත්‍ර කරන ලද බැව් යාකොබ්ට සැල වූ වේලේ, ඔහුගේ පුතුන් සිටියේ තණ පිටිවල ඔහුගේ සතුනට කවමිනි. එබැවින් ඔවුන් එන තුරු ඔහු නිහඬ ව සිටියේ ය.
6මේ අතර ෂෙකෙම්ගේ පියා වූ හාමොර්, යාකොබ් හා කතා කරන පිණිස පිටත් ව ගියේ ය. 7සිද්ධිය සැල වූ විගස, යාකොබ්ගේ පුත්තු තණ පිටියේ සිට ආපසු ආහ. යාකොබ්ගේ දියණිය හා සයනය කිරීමෙන්, ඔහු ඉශ්‍රායෙල් ජනයා අතරේ නින්දිතකමක් කරන ලද බැවින්, ඔවුහු කම්පාවෙන් ද කෝපයෙන් ද පිරී සිටියහ. මන්ද එය නො කටයුත්තකි.
8එහෙත් හාමොර් ඔවුන් අමතමින්, “මා පුත් ෂෙකෙම්ගේ හද ඔබේ දියණිය කෙරේ ඇදී ගොසින්. ඔහුගේ බිරිඳ කොට, ඇය ඔහුට බාර දෙන්න. 9අප වෙතින් ආවාහ විවාහ කර ගන්න. ඔබේ දූවරුන් අපට දී, අපේ දූවරුන් ඔබ ගන්න. 10මෙසේ ඔබට අප අතරේ වාසය කළ හැකියි. දේශය ඔබට විවෘතයි. මෙහි වෙසෙමින්, වෙළඳ ව්‍යාපාර කොට, දේපළ හිමි කර ගන්නැ” යි කීවේ ය.
11ෂෙකෙම් ද දීනාගේ පියා හා සහෝදරයින් අමතමින්, “ඔබ හමුවේ මට ප්‍රසාදය ලැබේවා. ඔබ කියන ඕනෑ ම දෙයක් දෙන්නම්. 12මනාලියට මහත් දෑවැද්දක් හා තෑගි මට නියම කළත්, ඔබ කියන කවරක් වුව දෙන්නම්. මගේ බිරිඳ ලෙස තරුණිය මට දෙන්නැ” යි ඉල්ලී ය.
13ඔහු, තම සහෝදරිය වූ දීනා අපවිත්‍ර කර තිබූ බැවින් යාකොබ්ගේ පුත්‍රයෝ ෂෙකෙම්ටත්, ඔහුගේ පියා වූ හාමොර්ටත් ප්‍රයෝගයෙන් උත්තර දෙමින්, 14“අපට එය කරන්නට බැහැ. චර්මඡේද නො වූ කෙනකුට අපේ සහෝදරිය දෙන්නට බැහැ. එය අපට නින්දාවක්. 15එක් කොන්දේසියක් මත පමණක් අපට අපගේ අනුමැතිය දිය හැකියි. ඔබ අතරේ හැම පිරිමියකු ම අප මෙන් චර්මඡේද විය යුතුයි. 16එවිට අපි, අපේ දූවරුන් ඔබට දී, ඔබේ දූවරුන් ආවාහ කර ගන්නෙමු; ඔබ අතරේ වාසය කරමින්, ඔබ හා සමඟ එක ම ජනතාවක් බවට පත් වන්නෙමු. 17එහෙත්, චර්මඡේද වන්නට ඔබ එකඟ වන්නේ නැති නම්, අපි අපේ දුව රැගෙන, පිටත් ව යන්නෙමු” යි කීහ.
18ඔවුන්ගේ යෝජනාවට හාමොර් හා ඔහුගේ පුත් ෂෙකෙම් මනාප වූහ. 19තම පියාගේ පවුලේ සියල්ලන්ට වඩා ඉතාම ගරුතර වූ එම තරුණයා, යාකොබ්ගේ දියණිය කෙරේ ප්‍රමෝදවත් වූ හෙයින් ඔවුන් කී දේ කරන්නට පමා නො වී ය. 20එබැවින් හාමොර් හා ඔහුගේ පුත් ෂෙකෙම් තම සහෝදර නගර වාසීන් අමතන පිණිස, නගර දොරටුව#34:20 නගර දොරටුව එනම් නගර දොරටු ප්‍රජා පොළ වෙත ගියහ. 21ඔවුහු කතා කරමින්, “ඒ මිනිසුන් අපට හිතවත්. ඔවුන් අප දේශයේ වෙසෙමින්, කැමති ව්‍යාපාරයක් කළා වේ. බලන්න, ඔවුන්ටත් ප්‍රමාණවත් තරම් මේ දේශයේ ඉඩ තියෙනවා. අපට ඔවුන්ගේ දූ දැරියන් ආවාහ කර ගෙන, අපේ දූවරුන් ඔවුන්ට දිය හැකියි. 22එහෙත් අප හා එක් ව වෙසෙමින්, එක ම ජනතාවක් බවට පත් වන්නට ඔවුන් එකඟ වන්නේ එක් කොන්දේසියක් මත පමණයි. එනම්, ඔවුන් චර්මඡේදිත ව සිටින්නා සේ අප අතරේ සියලු පිරිමි චර්මඡේද කිරීමයි. 23ඔවුන්ගේ සත්ව සම්පත ද ඔවුන්ගේ වස්තු සම්පත් ද ඔවුන්ගේ අනිකුත් සියලු සතුන් ද අපට ම නො වේ ද? ඔවුන් හා එකඟ වෙමු. එවිට ඔවුන් අප අතරේ වාසය කරනු ඇතැ” යි කීහ.
24නගර දොරටුවෙන් පිටතට ආ-ගිය සියල්ලෝ හාමොර් හා ඔහුගේ පුත් ෂෙකෙම් සමඟ එකඟ වූහ. නගර දොරටුවෙන් පිටතට ආ-ගිය හැම පිරිමියෙක් ම චර්මඡේද කරනු ලැබී ය.
25තුන් වන දවසේ ඔවුන් වේදනාවෙන් පෙළෙමින් සිටින අතර, යාකොබ්ගේ පුතුන් දෙදෙනකු වන සිමියොන් හා ලෙවී යන දීනාගේ සහෝදරයෝ, තම අසිපත් ගෙන, අනපේක්ෂිත නගරයට පහර දෙමින්, හැම පිරිමියකු ම මරා දැමූහ. 26හාමොර්ට ද ඔහුගේ පුත් ෂෙකෙම්ට ද කඩු පහර දුන් ඔවුහු, ෂෙකෙම්ගේ නිවසින් දීනා ද රැගෙන, පිට ව ගියහ. 27තමන්ගේ සහෝදරිය අපවිත්‍ර කළ බැවින්, යාකොබ්ගේ සෙසු පුත්‍රයෝ පහර ලැබූවන් පිට පැන, නගරය කොල්ල කෑහ. 28ඔවුන්ගේ එළු බැටළු හා ගව රංචු ද ඔවුන්ගේ බූරුවන් ද නගරය ඇතුළත වූ දෑ ද ඉන් පිටත තණ පිටිවල වූ දෑ ද ඔවුහු පැහැර ගත්හ. 29ඔවුහු ඔවුන්ගේ මුළු වස්තුව ද ඔවුන්ගේ දරුවන් හා ස්ත්‍රීන් හැම දෙනා ද ඔවුන්ගේ නිවෙස්හි වූ සියලු දේ ද කොල්ලයක් කොට, ගෙන ගියහ.
30යාකොබ් එකල සිමියොන්ට හා ලෙවීට කතා කොට, “මේ දේශ වාසී ජනයා වූ කානානිවරුන්ට හා පෙරිස්සිවරුන්ට මා දුගඳක් වෙන්නට සැලැස්වීමෙන්, නුඹලා මා දමා ඇත්තේ මහ කරදරයකයි. ගණනින් අප ටික දෙනයි. ඔවුන් මට එරෙහිව සේනාංක රැස් කර, පහර දුනහොත්, මාත් මගේ පවුලත් විනාශ වේ” යි කීවේ ය.
31එහෙත් ඔවුහු පිළිතුරු දෙමින්, “අපේ සහෝදරිය වෙසඟනක සේ සැලකීම ඔහුට යුතු දැ?” යි ඇසූහ.

Markierung

Teilen

Kopieren

None

Möchtest du deine gespeicherten Markierungen auf allen deinen Geräten sehen? Erstelle ein kostenloses Konto oder melde dich an.

Video zu උත්පත්ති 34