උත්පත්ති 29
29
යාකොබ්, පදන්-අරාම්ට පැමිණීම
1ඉන්පසු යළි තම ගමන ඇරඹූ යාකොබ්, පෙරදිග ජනයාගේ දේශයට පැමිණියේ ය. 2ඔහු බැලූ කල, කෙතක තිබූ ළිඳක් ද ළිඳ අසල බැටළු රංචු තුනක් ලැග සිටිනු ද දුටුවේ ය. බැටළු රංචුවලට දිය සැපයුණේ ඒ ළිඳෙනි. ළිං කට මත වූ ගල විශාල එකකි. 3සියලු රංචු එතැනට රැස් කළ පසු, ගොපල්ලෝ ළිං කටේ ගල ඉවත පෙරළා, බැටළුවන්ට වතුර දෙති. පසුව ඔවුහු ඒ ගල ළිං කටේ ඊට නිසි තැන තබති.
4යාකොබ් ගොපලුන් අමතමින්, “මා සහෝදරයිනි, නුඹලා කොහේ සිට දැ?” යි ඇසී ය.
“අප හාරාන් වෙතිනැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
5ඔහු ඔවුන් අමතමින්, “ඔබ නාහෝර්ගේ පුත්#29:5 නාහෝර්ගේ පුත් එනම් මුනුපුරා ලාබාන් හඳුනනවා දැ?” යි ඇසී ය.
“ඔව්, අප හඳුනනවා යැ” යි ඔවුහු පිළිතුරු දුන්හ.
6“ඔහු සුව සේ සිටී දැ?” යි ඔහු ඔවුන්ගෙන් ඇසී ය.
“ඔව්, සුව සේ සිටී යැ” යි පිළිතුරු දුන් ඔවුහු, “අන්න! අර බැටළුවන් සමඟ එන්නී ඔහුගේ දූ රාඛෙල් යැ” යි පැවසූහ.
7ඔහු කතා කරමින්, “බලන්න! තවම මහ දහවල්. සතුන් ගාල් කරන වෙලාව නො වෙයි. බැටළුවන්ට වතුර පොවා, ආපසු තණ බිමට ගෙන යන්නැ” යි කීවේ ය.
8ඔවුහු පිළිතුරු දෙමින්, “අපට එය කළ නො හැකියි. සියලු රංචු රැස් කරවා, ළිං කටේ ගල ඉවත පෙරළිය යුතුයි. ඉන් පසුවයි බැටළුවන්ට අප වතුර පොවන්නේ” යි කීහ.
9මෙසේ ඔහු ඔවුන් සමඟ කතා කරමින් සිටින අතරේ, රාඛෙල් තම පියාගේ බැටළුවන් සමඟ ආවා ය. ඈ, බැටළු-පාලිකාවකි. 10තම මවගේ සහෝදර ලාබාන්ගේ දියණිය වූ රාඛෙල් හා ලාබාන්ගේ බැටළුවන් දුටු යාකොබ් ඉදිරියට ගොස්, ළිං කටින් ගල ඉවත පෙරළා, තම මවගේ සහෝදර ලාබාන්ගේ බැටළුවන්ට වතුර දුන්නේ ය. 11ඉන්පසු යාකොබ් රාඛෙල් සිප, මහ හඬින් හඬන්නට වන්නේ ය. 12තමා ඇගේ පියාගේ නෑයකු වගත්, රෙබෙකාගේ පුතකු වගත් යාකොබ්, රාඛෙල්ට පැවසී ය. එවිට ඈ දුව ගොස්, තම පියාට ඒ වග පැවසී ය.
13ලාබාන් තම සහෝදරියගේ පුත් යාකොබ් ගැන ඇසූ සැණින්, ඔහු හමුවීමට වහා ගොස්, ඔහු වැලඳ, සිප, තම නිවසට ඔහු කැඳවාගෙන ආවේ ය. යාකොබ් එහිදී ඒ සියලු දේ ඔහුට පැවසී ය. 14එවිට ලාබාන් ඔහු අමතමින්, “සැබවින් ම නුඹ මගේ ඇට හා මස් යැ” යි කීවේ ය.
යාකොබ්, ලෙයා හා රාඛෙල් ආවාහ කර ගනී
යාකොබ් පුරා මසක් ඔහු සමඟ නැවතී සිටි පසු, 15යාකොබ් ඇමතූ ලාබාන්, “ඔබ මගේ නෑයකු වූ පමණින් මට නිකම් වැඩ කර දිය යුතු ද? ඔබේ ගාස්තුව විය යුත්තේ මොනවා ද කියා මට කියන්නැ” යි කීවේ ය.
16ලාබාන්ට දූවරු දෙදෙනෙක් සිටියහ. වැඩිමහල් තැනැත්තියගේ නම ලෙයා ය. බාලයාගේ නම රාඛෙල් ය. 17ලෙයාට තිබුණේ සිවුමැලි ඇස් ය. එහෙත්, රාඛෙල් පියකරු, රූමත් තැනැත්තියක් වූවා ය. 18යාකොබ් රාඛෙල්ට පෙම් බැන්දේ ය. එබැවින් ඔහු, “ඔබේ බාල දියණිය, රාඛෙල් උදෙසා මම හත් අවුරුද්දක් ඔබට වැඩ කරන්නෙමි” යි කීවේ ය.
19ලාබාන් පිළිතුරු දෙමින්, “මා වෙනත් කෙනකුට දෙනවාට වඩා, නුඹට ඇය දීම හොඳ ය. මා සමඟ මෙහි නවතින්නැ” යි කීවේ ය. 20මෙසේ, රාඛෙල් ලබා ගැනීමට යාකොබ් හත් අවුරුද්දක් මෙහෙ කළේ ය. එහෙත්, ඇය වෙත වූ ඔහුගේ ප්‍රේමය නිසා ඒවා ඔහුට පෙනුණේ ස්වල්ප දවසක් මෙනි.
21ඉන්පසු යාකොබ්, ලාබාන්ට කතා කොට, “මගේ සේවා කාලය මා සම්පූර්ණ කර ඇති නිසා, මගේ බිරිඳ හා එක් වන්නට ඇය මට බාර දෙන්නැ” යි ඉල්ලී ය.
22එවිට ලාබාන් එහි සිටි සියලු ජනයා එක් රැස් කරවා, මංගල සාදයක් පැවැත්වී ය. 23සවස් වූ කල ඔහු තම දියණිය වූ ලෙයා කැඳවාගෙන ගොස්, යාකොබ්ට බාර දුන්නේ ය. යාකොබ් ඇය හා සයනය කළේ ය. 24ලාබාන් තම දාසිය වන සිල්පා තම දියණිය වූ ලෙයාට සේවිකාවක වශයෙන් දුන්නේ ය.
25උදෑසන පැමිණි කල මෙන්න! එහි වූයේ ලෙයා ය. එබැවින් ලාබාන් ඇමතූ යාකොබ්, “මොකක් ද මේ නුඹ මට කළේ? මා නුඹට මෙහෙ කළේ රාඛෙල් සඳහා නො වේ ද? නුඹ මා රැවටුවේ කිම දැ?” යි ඇසී ය.
26ලාබාන් පිළිතුරු දෙමින්, “වැඩිමල් තැනැත්තීට පළමු බාල දූ දීග දීම අප රටේ සිරිත නො වේ. 27මැගේ මංගල සතිය සම්පූර්ණ කරන්න. එවිට අනෙක් තැනැත්තියත් අපි ඔබට දෙන්නෙමු. එහි හිලව්වට ඔබ කළ යුත්තේ තවත් හත් අවුරුද්දක් මට වැඩ කර දීම යැ” යි කීවේ ය.
28යාකොබ් එසේ කළේ ය. ඔහු ඇගේ සතිය සම්පූර්ණ කළේ ය. එවිට ලාබාන් තම දියණිය වූ රාඛෙල් ඔහුගේ බිරිඳ කොට දුන්නේ ය. 29ලාබාන් තම දාසිය වූ බිල්හා තම දියණිය වූ රාඛෙල්ට සේවිකාවක වශයෙන් දුන්නේ ය. 30යාකොබ්, රාඛෙල් සමඟ සයනය කළේ ය. ඔහු ලෙයාට වඩා රාඛෙල්ට බෙහෙවින් ප්‍රේම කළේ ය. ඔහු තවත් හත් අවුරුද්දක් ලාබාන්ට මෙහෙ කළේ ය.
යාකොබ්ගේ දරුවන්
31ලෙයා ආදරය නො ලද බැව් දුටු ස්වාමින්වහන්සේ ඇගේ දරු ගැබ විවර කළ සේක. එහෙත් රාඛෙල් වඳ ව සිටියා ය. 32ලෙයා ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. ඈ ඔහුට රූබෙන්#29:32 රූබෙන් හෙබ්‍රෙව් ශබ්දානු සාරයට අනුව උන්වහන්සේ මගේ දුක දුටු සේක සහ නමේ අරුත බලන්න! පුත්‍රයෙක් යැයි නම් තැබුවා ය. මන්ද “ස්වාමින්වහන්සේ මගේ දුක්-සන්තාපය දුටු නිසා සැබවින් ම දැන් මගේ සැමියා මට ප්‍රේම කරනු ඇතැ” යි ඈ කීවා ය.
33ඈ නැවතත් ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. “මා ආදරය නො ලබන වග ස්වාමින්වහන්සේ ඇසූ නිසා උන්වහන්සේ මට මේ පුත්‍රයාත් දුන් සේකැ” යි කී ඈ, ඔහුට සිමියොන්#29:33 සිමියොන් හෙබ්‍රෙව් ඇසුණා හෝ අසන තැනැත්තා යැයි නම් තැබුවා ය.
34ඈ යළිත් ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. “මා ඔහුට පුතුන් තිදෙනකු ම බිහි කර දුන් නිසා මෙවර මගේ සැමියා මට බැඳෙනු ඇතැ” යි කියමින් ඈ ඔහුට ලෙවී#29:34 ලෙවී හෙබ්‍රෙව් ශබ්දානු සාරයට අනුව බැඳීම හෝ සම්බන්ධ කරනු ලැබීම යන අරුත ගෙන දේ. යැයි නම් තැබුවා ය.
35ඈ යළිත් ගැබ් ගෙන, පුතකු බිහි කළා ය. “මෙවර මම ස්වාමින්වහන්සේ පසසමි” යි කී ඈ ඔහුට යූදා#29:35 යූදා හෙබ්‍රෙව් ශබ්දානු සාරයට අනුව ප්‍රශංසාව යන අරුත ගෙන දේ. යන නම තැබුවා ය. ඉන්පසු ඇගේ ගැබ් දැරීම නැවතිණ.
Zur Zeit ausgewählt:
උත්පත්ති 29: SCV
Markierung
Teilen
Kopieren
Möchtest du deine gespeicherten Markierungen auf allen deinen Geräten sehen? Erstelle ein kostenloses Konto oder melde dich an.
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.