උත්පත්ති 21
21
ඊසාක්ගේ උපත
1 ස්වාමින්වහන්සේ පවසා තිබූ පරිදි, උන්වහන්සේ සාරාට කරුණා පෑ සේක.#21:1 සාරා සිහි කළ සේක. පොරොන්දු වූ පරිදි, ස්වාමින්වහන්සේ සාරා ගැන ක්‍රියා කළ සේක. 2එබැවින් සාරා ගැබ්ගත්තී, ආබ්‍රහම්ගේ මහලු වයසේ, දෙවියන්වහන්සේ ඔහුට පොරොන්දු වූ නිසි කල්හි දී ඔහුට පුතකු බිහි කර දුන්නී ය. 3ආබ්‍රහම් තමාට සාරා බිහි කර දුන් පුතුට ඊසාක්#21:3 ඊසාක් එනම් ඔහු සිනාසෙයි. යන නම තැබී ය. 4තම පුතු ඊසාක්ට දින අටක් වයස් වූ කල, ආබ්‍රහම් ඔහු චර්මඡේද කළේ, දෙවියන්වහන්සේ අණ කර තිබූ පරිද්දෙනි. 5තම පුතු ඊසාක් උපදින විට ආබ්‍රහම් අවුරුදු සියයක් වයස් ව සිටියේ ය.
6සාරා කතා කොට, “දෙවියන්වහන්සේ මට සිනහව ගෙනා සේක. මේ ගැන අහන හැම කෙනකු ම මා හා හිනැහෙනු ඇතැ” යි කීවා ය. 7ඈ, තවත් කතා කරමින්, “සාරා දරුවන්ට කිරි පොවතියි ආබ්‍රහම්ට කියන්නට සිතුවේ කවුරු ද? එහෙත් ඔහුගේ මහලු වයසේදී මම ඔහුට පුතකු බිහි කර දුන්නෙමි” යි කීවා ය.
හාගර් හා ඉෂ්මායෙල් නෙරපීම
8දරුවා වැඩී, කිරි වැරී ය. ඊසාක් කිරි වැරූ දවසේ ආබ්‍රහම් මහා මංගල්‍යයක් පැවැත්වී ය. 9එහෙත් ඊජිප්තු ළඳ, හාගර් ආබ්‍රහම්ට බිහි කර දුන් පුත්‍රයා, සරදම් කරනු සාරා දුටුවා ය. 10එකල ආබ්‍රහම් ඇමතූ ඈ, “මේ දාසියත්, ඇගේ පුතාත් පලවා හරින්න. මන්ද මේ දාසියගේ පුතුට, මගේ පුතු ඊසාක් සමඟ උරුමය ලබන්නේ නැතැ” යි කීවා ය.
11තම පුත්‍රයා නිසා මේ කාරණයෙන් ආබ්‍රහම් මහත් සංවේගයට පත් විය. 12එහෙත්, දෙවියන්වහන්සේ ඔහු ඇමතූ සේක්, “ළමයා ගැනත්, ඔබේ දාසිය ගැනත් ශෝක නො වන්න. සාරා ඔබට කියන දේට ඇහුම්කන් දෙන්න. මන්ද ඔබගේ වංශයේ නාමය, පැවත යන්නේ ඊසාක් මගිනි. 13දාසියගේ පුත්‍රයා ද ජාතියක් බවට මම පත් කරවන්නෙමි. මන්ද ඔහු ඔබේ වංශය යැ” යි පැවසූ සේක.
14පසු දින අලුයම් උදෙන් පිබිදි ආබ්‍රහම් ආහාර ද සම්-බඳුනක ජලය ද හාගර්ට දුන්නේ ය. ඒවා ඇගේ උරඉස මත තැබූ ඔහු, ඉන්පසු දරුවා ද සමඟ ඇය පිටත් කර හැරියේ ය. එසේ පිටත් ව ගිය ඈ, බෙයර්ෂෙබා කාන්තාරයේ මංමුළා වූවා ය.
15සම් බඳුනේ වතුර ඉවර වූ කල, පඳුරක් යට දරුවා හැර තැබූ ඈ, 16හී සැරයක පමණ දුරක් ඔබ්බට ගොස්, හිඳ ගත්තා ය. “දරුවා මියැදෙනු මට බලා සිටිය නො හැකැ” යි පැවසූ ඈ ඉකි බිඳ හඬන්නට වන්නී ය.
17ළමයා නගන හඬ දෙවියන්වහන්සේට ඇසිණි. එවිට දෙවියන්වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට හාගර්ට කතා කරමින්, “මොකක් ද කාරණය හාගර්? භය වන්න එපා. සිටින තැන සිට දරුවා නගන හඬ දෙවියන්වහන්සේට ඇසී ඇත. 18නැගිටින්න, අවුත් දරුවා නැගිටුවා, ඔහුගේ අතින් අල්ලා ගන්න. මන්ද මම මහත් ජාතියක් බවට ඔහු පමුණු වන්නෙමි” යි කීවේ ය.
19ඉන්පසු දෙවියන්වහන්සේ හාගර්ගේ ඇස් විවර කළ සේක. එවිට ඈ දිය සහිත ළිඳක් දුටුවා ය. එහි ගොස්, සම් බඳුනට දිය පුරවා ගත් ඈ, ළමයාට බොන්නට දුන්නා ය.
20ළමයා වැඩෙද්දී, දෙවියන්වහන්සේ ඔහු සමඟ වූ සේක. කාන්තාරයේ වාසය කළ ඔහු දුනුවායෙක් බවට පත් විය. 21ඔහු පාරාන් කාන්තාරයේ වාසය කළේ ය. ඔහුගේ මව ඊජිප්තු දේශයෙන් ඔහුට බිරිඳක ගෙන දුන්නා ය.
බෙයර්ෂෙබාහි ගිවිසුම
22එකල්හි අබිමෙලෙක් ද ඔහුගේ හමුදාපති පීකොල් ද ආබ්‍රහම් අමතමින්, “ඔබ කරන හැම දෙයකදී ම දෙවියන්වහන්සේ ඔබ සමඟයි. 23එබැවින් මටත්, මගේ දරුවන්ටත්, මගෙන් පැවතෙන්නන්ටත් වංචා සහගත ව කටයුතු නො කරන බවට හා මා ඔබට දැක් වූ ලෙස මටත්, දැන් ඔබ විදේශී ව සිටින මේ දේශයටත් කරුණාව දක්වන බවට දෙවියන්වහන්සේගේ නාමයෙන් දැන් දිවුරන්නැ” යි කීවේ ය.
24“මම එසේ දිවුරමි” යි ආබ්‍රහම් කීවේ ය.
25ඉන්පසු ආබ්‍රහම්, අබිමෙලෙක්ගේ සේවකයින් විසින් බලෙන් අල්ලා ගන්නා ලද ජල-ළිඳක් ගැන අබිමෙලෙක්ට පැමිණිලි කළේ ය. 26අබිමෙලෙක් පිළිතුරු දෙමින්, “කවුරුන් මෙය කළාදැයි මා දන්නේ නෑ; ඔබ මට කීවේත් නෑ; අද දවස දක්වා මට එය අසන්නට ලැබුණේත් නෑ” යි කීවේ ය.
27එවිට ආබ්‍රහම් බැටළුවන් ද ගවයින් ද ගෙනවුත්, අබිමෙලෙක්ට දුන්නේ ය. එලෙස ඒ මිනිසුන් දෙදෙන ගිවිසුමකට එළැඹුණහ. 28ආබ්‍රහම් ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු රැළෙන් වෙන් කළේ ය. 29එවිට අබිමෙලෙක්, “මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙනකු වෙන් කිරීමේ තේරුම කුමක් දැ?” යි ආබ්‍රහම්ගෙන් ඇසී ය.
30ඔහු පිළිතුරු දෙමින්, “මේ ළිඳ මා විසින් හාරන ලද්දක් බවට සාක්ෂියක් වශයෙන් මේ ගැහැනු බැටළු පැටවුන් හත්දෙන මගේ අතින් බාරගන්නැ” යි ඉල්ලී ය.
31ඔවුන් දෙදෙනා එහිදී දිවුරුමක් ශපථ කළ නිසා, ඒ ස්ථානය බෙයර්ෂෙබා#21:31 බෙයර්ෂෙබා එනම් දිවුරුමේ ළිඳ හෝ හතේ ළිඳ නමින් හැඳින්විණ.
32මෙසේ බෙයර්ෂෙබාහි ගිවිසුමෙන් පසු, අබිමෙලෙක් හා ඔහුගේ හමුදාපති පීකොල් පෙරළා පිලිස්තිවරුන්ගේ දේශයට ගියහ. 33ආබ්‍රහම්, බෙයර්ෂෙබාහි එෂෙල් ගසක්#21:33 එෂෙල් ගසක් එනම් සදා හරිත ගසක් පැළ කොට, එහිදී ස්වාමින්වහන්සේගේ නාමයෙන්, සදාතනික දෙවියන්වහන්සේගේ නාමයෙන් යාච්ඤා කළේ ය. 34ආබ්‍රහම් දිගු කලක් පිලිස්තිවරුන්ගේ දේශයෙහි විදේශී ව සිටියේ ය.
Zur Zeit ausgewählt:
උත්පත්ති 21: SCV
Markierung
Teilen
Kopieren
Möchtest du deine gespeicherten Markierungen auf allen deinen Geräten sehen? Erstelle ein kostenloses Konto oder melde dich an.
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.