උත්පත්ති 36
36
ඒසව්ගේ දරු පරපුර
1ඒසව්ගේ හෙවත් ඒදොම්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය.
2ඒසව් තමාට බිරින්දෑවරුන් ගත්තේ කානානි ළඳුන් අතරිනි. ඒ, හිත්තීය ඒලොන්ගේ දියණිය වූ ආදා, හිවීය සිබෙයොන්ගේ දියණිය වූ අනාගේ දියණිය වූ ඔහොලිබාමා, 3ඉෂ්මායෙල්ගේ දියණිය ද නෙබායොත්ගේ සොහොයුරිය ද වූ බසෙමත් යන අයයි.
4ඒසව්ට දාව ආදා, එලිෆස් බිහි කළා ය. බසෙමත්, රෙවූයෙල් බිහි කළා ය. 5ඔහොලිබාමා, යෙවූෂ් ද යාලාම් ද කෝරා ද බිහි කළා ය. කානාන් දේශයේදී ඒසව්ට උපන් ඔහුගේ පුත්තු ඔවුහු ය.
6ඒසව් තම බිරින්දෑවරුන්, තම පුතුන්, තම දූවරුන් හා තම ගෘහවාසී සියල්ලන් ද සමඟ තම සත්ව සම්පත්, තම සෙසු සියලු සතුන් හා කානාන් දේශයේදී ඔහු අත්කර ගත් සියලු වත්කම් ද ගෙන, තම සහෝදර යාකොබ් වෙතින් ඈත් ව පිහිටි දේශයකට ගියේ ය. 7මන්ද එක් ව විසීමට නො හැකි තරමට ඔවුන්ගේ වස්තු සම්පත් අති විශාල විණි. ඔවුන්ගේ සත්ව සම්පත් නිසා, ඔවුන් දෙගොල්ලගේ ම නඩත්තුවට ඔවුන් නැවතී සිටි දේශය නො සෑහිණ. 8එබැවින් ඒසව්, සේයිර් කඳු රටේ පදිංචි විය. ඒසව් නම් ඒදොම් ය.
9සේයිර් කඳු රටේ ඒදොම්වරුන්ගේ පියා වූ ඒසව්ගේ පරපුර පිළිබඳ තොරතුරු මෙසේ ය.
10ඒසව්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය:
ඒසව්ගේ බිරිඳ වූ ආදාගෙන් උපන් පුත්‍රයා එලිෆස් ය; රෙවූයෙල්, ඒසව්ගේ බිරිඳ වූ බසෙමත්ගෙන් උපන් පුත්‍රයා ය.
11එලිෆස්ගේ පුත්‍රයෝ නම්
තේමාන්, ඕමාර්, සෙෆෝ, ගයිතාම් හා කෙනස් ය. 12ඒසව්ගේ පුත් එලිෆස්ට තිම්නා නමින් අතිරේක බිරිඳක වූවා ය. ඈ ඔහුට අමලෙක් බිහි කර දුන්නා ය. ඒසව්ගේ බිරිඳ වූ ආදාගේ පුත්‍රයෝ ඔවුහු ය.
13රෙවූයෙල්ගේ පුත්‍රයෝ නම්
නහත්, සෙරා, ෂම්මා හා මිස්සා ය. ඒසව්ගේ බිරිඳ වූ බසෙමත්ගේ පුත්‍රයෝ ඔවුහු ය.
14ඒසව්ගේ බිරිඳ වූ ඔහොලිබාමාගෙන් ඒසව්ට උපන් පුත්‍රයෝ:
යෙවූෂ්, යාලාම් හා කෝරා ය. ඔහොලිබාමා, සිබෙයොන්ගේ දියණිය වන අනාගේ දියණියයි;
15ඒසව්ගෙන් පැවතෙන්නන් අතරෙහි අධිපතීහු මොවුහු ය:
ඒසව්ගේ කුලුඳුල් පුත් එලිෆස්ගේ පුතුන් වූ අධිපතීහු:
තේමාන්, ඕමාර්, සෙෆෝ, කෙනස්, 16කෝරා, ගයිතාම් හා අමලෙක් ය. ඒදොම් දේශයේ එලිෆස්ගෙන් පැවත ආ අධිපතීහු මොවුහු ය. ඔවුහු ආදාගේ පුත්‍රයෝ ය.
17ඒසව්ගේ පුත් රෙවූයෙල්ගේ පුතුන් වූ අධිපතීහු:
නහත්, සෙරා, ෂම්මා හා මිස්සා ය. ඒදොම් දේශයේදී රෙවූයෙල්ගෙන් පැවත ආ අධිපතීහු ඔවුහු ය. ඔවුහු ඒසව්ගේ බිරිඳ වූ බසෙමත්ගේ පුත්‍රයෝ ය.
18ඒසව්ගේ බිරිඳ වූ ඔහොලිබාමාගේ පුත්‍රයින් හා අධිපතීහු:
යෙවූෂ්, යාලාම් හා කෝරා. අනාගේ දියණිය වූත්, ඒසව්ගේ බිරිඳ වූත් ඔහොලිබාමාගෙන් උපන් අධිපතීහු ඔවුහු ය.
19ඒදොම් හෙවත් ඒසව්ගේ පුත්තු ඔවුහු ය. ඔවුහු ඔවුන්ගේ අධිපතීහු ය.
20ඒ පළාතේ විසූ හෝරීය සේයිර්ගේ පුත්තු මොවුහු ය:
ලෝටාන්, ෂෝබාල්, සිබෙයොන්, අනා, 21දීෂොන්, ඒසෙර් හා දීෂාන් ය. ඒදොම්හි සේයිර්ගේ මෙම පුත්තු හෝරීය ජන අධිපතීන් වූහ.
22ලෝටාන්ගේ පුත්‍රයෝ:
හෝරී සහ හේමාම් ය. ලෝටාන්ගේ සොහොයුරිය තිම්නා ය.
23ෂෝබාල්ගේ පුත්‍රයෝ:
අල්වාන්, මානහත්, ඒබාල්, ෂෙෆෝ සහ ඕනාම් ය.
24සිබෙයොන්ගේ පුත්‍රයෝ:
ආයා සහ අනා ය. මෙම අනා, තම පියා වූ සිබෙයොන්ගේ බූරුවන් තණ කවන අතරේ කාන්තාරයේ උණු දිය උල්පත් සොයා ගත් තැනැත්තා ය.
25අනාගේ දරුවෝ:
දීෂොන් සහ ඔහොලිබාමා ය. ඇය අනාගේ දියණියයි.
26දීෂොන්ගේ පුත්‍රයෝ:
හෙම්දාන්, එෂ්බාන්, ඉත්රාන් හා කෙරාන් ය.
27ඒසෙර්ගේ පුත්‍රයෝ:
බිල්හාන්, සයවාන් හා අකාන් ය.
28දීෂාන්ගේ පුත්‍රයෝ:
ඌස් සහ අරාන් ය.
29හෝරීය ජන අධිපතීහු ඔවුහු ය:
ලෝටාන්, ෂෝබාල්, සිබෙයොන්, අනා, 30දීෂොන්, ඒසෙර් සහ දීෂාන් ය.
සේයිර් දේශයේ ඔවුන්ගේ අධිපති පරම්පරා අනුව හෝරීය ජන අධිපතීහු ඔවුහු ය.
ඒදොම්හි රජවරු
31ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි යම් රජෙකු රජකම් කරන්නට පෙර, ඒදොම් දේශයෙහි රජකම් කළ රජවරු මොවුහු ය:
32බෙයෝර්ගේ පුත් බෙලා ඒදොම්හි රජකම් කළේ ය. ඔහුගේ පුරවරයේ නම දින්හබා ය.
33බෙලා මිය ගිය පසු, ඔහු වෙනුවට බොස්රාහි සෙරාගේ පුත් යෝබාබ් රජ විය.
34යෝබාබ් මිය ගිය පසු, ඔහු වෙනුවට තේමානීවරුන්ගේ දේශයේ හුෂාම් රජ විය.
35හුෂාම් මිය ගිය පසු, ඔහු වෙනුවට බෙදද්ගේ පුත් හදද් රජ විය. ඔහු මෝවබ් රටේදී මිදියන්වරුන් පරාජය කළේ ය. ඔහුගේ පුරවරයේ නම අවීත් ය.
36හදද් මිය ගිය පසු, ඔහු වෙනුවට මස්රේකාහි සම්ලා, රජ විය.
37සම්ලා මිය ගිය පසු, ඔහු වෙනුවට ගංගාව අසල රෙහොබොත්හි ෂාවුල් රජ විය.
38ෂාවුල් මිය ගිය පසු, ඔහු වෙනුවට අක්බෝර්ගේ පුත් බාල්-හානන් රජ විය.
39අක්බෝර්ගේ පුත් බාල්-හානන් මිය ගිය පසු, ඔහු වෙනුවට හදර් රජ විය. ඔහුගේ පුරවරයේ නම පායූ ය. ඔහුගේ බිරිඳගේ නම මෙහෙතබෙල් ය. ඈ, මත්රෙද්ගේ දියණියයි. ඈ, මේසාහබ්ගේ දියණියයි.
40ඔවුන්ගේ පවුල්-පෙළපත් හා පළාත් ප්‍රකාරයට ඒසව්ගෙන් පැවත එන්නන්ගේ අධිපතීහු නම් වශයෙන් මොවුහු ය:
තිම්නා, අල්වා, යෙතේත්,
41ඔහොලිබාමා, ඒලා, පීනොන්,
42කෙනස්, තේමාන්, මිබ්සාර්,
43මග්දීයෙල් හා ඊරාම් ය.
දේශයේ ඔවුනොවුන්ට හිමි ඔවුන්ගේ වාස භූමි ප්‍රකාරයට ඒදොම් අධිපතීහු ඔවුහු ය.
එය ඒදොම්වරුන්ගේ පියා වන ඒසව්ගේ පෙළපත ය.
Currently Selected:
උත්පත්ති 36: SCV
ማድመቅ
ያጋሩ
አወዳድር
ኮፒ
ያደመቋቸው ምንባቦች በሁሉም መሣሪያዎችዎ ላይ እንዲቀመጡ ይፈልጋሉ? ይመዝገቡ ወይም ይግቡ
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.