ශුද්ධවර ජොහන් 2

2
කානාහි සරණ මංගල්‍යය
1තුන් වන දවසෙහි, ගලීලයේ කානාහි විවාහ මංගල්‍යයක් විය; ජේසුස් වහන්සේගේ මෑණියෝ ද එහි සිටියහ. 2සිය ශ්‍රාවකයන් සමඟ ජේසුස් වහන්සේ ද මංගල්‍යයට කැඳවනු ලැබූ සේක. 3මිදියුස හිඟ වූ විට, ජේසුස් වහන්සේගේ මෑණියෝ, “මිදියුස නැතැ”යි උන් වහන්සේට කී හ. 4ජේසුස් වහන්සේ ද කතා කොට, “ස්ත්‍රිය, ඔබත් මාත් මේ ගැන කරදර වෙන්නේ කුමට ද? මාගේ මොහොත තව ම පැමිණ නැතැ”යි වදාළ සේක. 5උන් වහන්සේගේ මෑණියෝ මෙහෙකරුවන් අමතා, ‘මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුව ද කරන්නැ’යි කී හ.
6ජුදෙව්වරුන්ගේ පවිත්‍ර වීමේ වත්පිළිවෙත් සඳහා ලීටර් සියයක් පමණ අල්ලන ගල් භාජන සයක් එහි තබා තිබිණි. 7“භාජනවලට වතුර පුරවන්නැ”යි ජේසුස් වහන්සේ සේවකයන්ට වදාළ සේක. ඔව්හු ද ඒවා ගැටිය දක්වා ම පිරෙව්වෝ ය. 8“දැන් මෙයින් ටිකක් සංවිධායක තැන වෙත ගෙන යන්නැ”යි උන් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ඔව්හු එය ගෙන ගියහ. 9සංවිධායක තැන මිදියුස බවට හැරුණු වතුර ගෙන රස බැලී ය. එය කෙසේ ලැබිණි දැ යි වතුර ගෙනා සේවකයන් දැන සිටි නමුත්, ඔහු නොදත්තේ ය. එබැවින් ඔහු මනාලයා කැඳවා, 10“හැම කෙනෙක් ම පළමුකොට හොඳ මිදියුසයෙන් සංග්‍රහ කරති; කවුරුනුත් සෑහෙන තරමට පානය කළ පසු බාල මිදියුසයෙන් සංග්‍රහ කරති. එහෙත්, ඔබ මේ වන තුරු හොඳ මිදියුස තබාගෙන සිටියෙහි ය”යි ඔහුට කී ය.
11මේ වනාහි ජේසුස් වහන්සේ ලකුණක් පිණිස කළ හාස්කම්වලින් පළමු වැන්න ය. එය සිදු කරන ලද්දේ ගලීලයේ කානාහි දී ය. එසේ කිරීමෙන් උන් වහන්සේ සිය තේජශ්‍රීය ප්‍රකාශ කළ සේක; ශ්‍රාවකයෝ ද උන් වහන්සේ අදහාගත්හ. 12#මතෙ 4:13 ඉන්පසු උන් වහන්සේ සිය මෑණියන් ද සොහොයුරන් ද ශ්‍රාවකයන් ද සමඟ කපර්ණවුමට වැඩිය සේක; එහෙත්, ඔව්හු එහි වැඩි කලක් නොසිටියහ.
දේව මාලිගාව පවිත්‍ර කිරීම
(මතෙ 21:12-13; මාක් 11:15-19; ලූක් 19:45-46)
13 # නික්ම 12:1-27 ජුදෙව්වරුන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න ව තිබුණු බැවින්, ජේසුස් වහන්සේ ජෙරුසලමට වැඩම කළ සේක. 14එවිට, දේව මාලිගාවේ ගව, බැටළු හා පරෙවි වෙළෙන්දන් ද මුදල් මාරු කරන්නන් ද ගනුදෙනුවෙහි යෙදී හිඳිනු උන් වහන්සේ දැක, 15ලණුවලින් කසයක් සාදාගෙන ගවයන් හා බැටළුවන් හා සියල්ලන් දේව මාලිගාවෙන් පිටතට පලවා හැර, මුදල් මාරු කරන්නන්ගේ කාසි විසුරුවා ඔවුන්ගේ මේස පෙරළා දැමූ සේක. 16ඉන්පසු උන් වහන්සේ පරෙවි වෙළෙඳුන් අමතා, “මේවා අහකට ගෙන යන්න; මාගේ පියාණන්ගේ ගෘහය වෙළඳ පොළක් නො කරන්නැ”යි වදාළ සේක. 17#ගීතා 69:9 “ඔබගේ ගෘහයට ඇති උද්‍යෝගයෙන් මම දැවෙමි”යි ලියා තිබෙන බව එවිට ශ්‍රාවකයන්ට මතක් විය.
18එකල ජුදෙව්වරු, “ඔබ මේ දේවල් කරන බැවින් ලකුණක් පිණිස කුමන හාස්කමක් අපට දක්වන්නෙහි දැ”යි ඇසූ හ. 19#මතෙ 26:61; 27:40; මාක් 14:58; 15:29 ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මේ දේව මාලිගාව කඩාදමන්න. තෙදිනකින් එය මම ගොඩනඟන්නෙමි”යි වදාළ සේක. 20එවිට ජුදෙව්වරු කතා කොට, “මේ දේව මාලිගාව ගොඩනඟන්නට හතළිස් හය වසක් ගත විය. ඔබ එය තෙදිනකින් ගොඩනඟන්නෙහි දැ”යි ඇසූ හ. 21එහෙත්, උන් වහන්සේ කතා කෙළේ, තමන්ගේ ශරීරය නමැති දේව මාලිගාව ගැන ය. 22උන් වහන්සේ මරණින් නැඟිටුවනු ලැබූ පසු, ශ්‍රාවකයෝ, උන් වහන්සේ මේ දේ කී බව සිහි කොට ශුද්ධ ලියවිල්ල ද උන් වහන්සේගේ වචනය ද විශ්වාස කළහ.
සියලු සිත් දන්නා ජේසුස් වහන්සේ
23උන් වහන්සේ පාස්කු මංගල්‍යයේ දී ජෙරුසලමෙහි සිටි කල්හි, බොහෝ දෙනෙක් උන් වහන්සේ කළ හාස්කම් දැක, උන් වහන්සේ අදහාගත්හ. 24එහෙත්, ජේසුස් වහන්සේ ඔවුන් කෙරෙහි විශ්වාසය නොතැබූ සේක. මන්ද, උන් වහන්සේ සියල්ල දත් නිසා ය. 25මිනිස් සිතෙහි ඇති දෙය උන් වහන්සේ දැන සිටි බැවින්, මනුෂ්‍යයා ගැන කිසිවෙකුගේ සාක්ෂියක් උන් වහන්සේට අවශ්‍ය නො වී ය.

高亮显示

分享

复制

None

想要在所有设备上保存你的高亮显示吗? 注册或登录