උත්පත්ති 16
16
හාගර් සහ ඉෂ්මායෙල්
1ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයිට දරුවෙක් උපන්නේ නැත. එහෙත්, ඈට හාගර් නම් මිසර ජාතික වහල් කෙල්ලක් සිටියා ය. 2එබැවින් සාරයි ආබ්‍රම්ට කතා කොට, “බලන්න, සමිඳාණන් වහන්සේ මා දරු පල ලැබීමෙන් වළක්වා ඇත. කරුණාකර, මාගේ වහල් කෙල්ල වෙත යන්න. සමහරවිට ඇගෙන් මට දරුවෙකු ලැබෙන්න පුළුවනැ”යි කීවා ය. ආබ්‍රම් ද සාරයිගේ කීමට එකඟ විය.
3මෙලෙස ආබ්‍රම් කානාන් දේශයෙහි අවුරුදු දහයක් විසූ පසු, ආබ්‍රම්ගේ භාර්යාව වන සාරයි මිසර ජාතික සිය වහල් කෙල්ල වන හාගර් සිය සැමියා වන ආබ්‍රම්ට භාර්යාව කොට දුන්නා ය. 4ඔහු ඈ සමඟ එක් වූ පසු ඈ පිළිසිඳගත්තා ය. හාගර් පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ ඇගේ ස්වාමිදුව සුළු කොට සැලකුවෙන්, 5සාරයි ආබ්‍රම්ට කතා කොට, “මට අවමානයක් සිදු වූයේ ඔබේ වරදින් ය. මම මාගේ වහල් කෙල්ල ඔබට අඹුවක වශයෙන් පාවා දුනිමි. තමා පිළිසිඳගත් බව ඈ දැනගත් පසු, ඈ මා සුළු කොට සිතන්නී ය. වරද කාගේ ද කියා දෙවියන්ට පෙනේ වා!”යි කීවා ය. 6ආබ්‍රම් ද සාරයිට උත්තර දෙමින්, “මෙන්න, ඔබේ වහල් කෙල්ල, ඔබ ම ඈ බාරගන්න. ඔබ කැමැති දෙයක් ඇයට කරන්නැ”යි කී ය. එවිට සාරයි, ඇයට තදින් හිරිහැර කෙළෙන් ඈ තම ස්වාමිදුව වෙතින් පලා ගියා ය.
7මෙසේ හාගර් පලා යද්දී ෂූර් දක්වා යන මාර්ගයෙහි තිබෙන පාළුකරයේ දිය උල්පතක් ළඟ දී සමිඳාණන් වහන්සේගේ දූතයාට ඈ හමු වූවා ය. 8ඔහු ද කතා කොට, “හාගර්, සාරයිගේ වහල් කෙල්ල, ඔබ ආවේ කොහෙන් ද? යන්නේ කොහේ දැ”යි ඇසී ය. ඈ උත්තර දෙමින්, “මම මාගේ ස්වාමිදූ වන සාරයි වෙතින් පලා යමි”යි කීවා ය. 9එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ඈට කතා කොට, “නුඹේ ස්වාමිදූ වෙත ආපසු හැරී යන්න. ගොස් ඇයට යටත් ව සිටින්නැ”යි කී ය. 10ඔහු තවදුරටත් මෙසේ කී ය.
“බොහෝ දරු පල මම ඔබට දෙමි;
ගණන් නොකළ හැකි තරම් විපුල දරු පල ඔබට දෙමි.
11ඔබ දරුවකු පිළිසිඳ ඇත;
පුතකු බිහි කරනු ඇත;
හිමිතුම ඔබ පීඩා හඬ ඇසූ බැවින් ඔහුට ඉෂ්මායෙල් යන නම තබන්න.
12ඒ මිනිසා වල් මීමෙකි.
කාටත් ඔහු එරෙහි වේවි.
කවුරුත් ඔහුට එරෙහි වේවි.
නෑදෑයින් හැරදමමින් කල් යවාවි.”
13තවද, ඈ තමාට කතා කළ සමිඳාණන් වහන්සේට, ‘ඔබ සියල්ල දකින දෙවියෝ ය.’ යන අර්ථය ඇති එල්-රෝයි කියා නම් කළා ය. ඒ මන්ද, ‘මා දුටු තැනැන් වහන්සේ මාත් දැක මම තව ම ජීවත් ව සිටිනවා නොවෙම් දැ’යි ඈ තමාගෙන් ම ප්‍රශ්න කළ බැවිනි. 14කාදේෂ් සහ බෙරෙද් අතර පිහිටි ඒ ළිඳට මා දක්නා ජීවමාන තැනැන් වහන්සේගේ ළිඳ යන අර්ථ ඇති ‘බෙයර්-ලහයි-රෝයි’ යන නම තබන ලද්දේ එබැවිනි. 15#ගලා 4:22 හාගර් ආබ්‍රම්ගෙන් පුත්‍රයෙකු ලැබුවා ය. ආබ්‍රම් ඔහුට ඉෂ්මායෙල් යන නම තැබී ය. 16මෙකල ආබ්‍රම්ගේ වයස අවුරුදු අසූහයක් විය.
Ekhethiweyo ngoku:
උත්පත්ති 16: NRSV
Qaqambisa
Kopa
Thelekisa
Yabelana
Ufuna ukuba iimbalasane zakho zigcinwe kuzo zonke izixhobo zakho? Bhalisela okanye ngena
Ceylon Bible Society