ගණන් 20
20
පර්වතයෙන් ජලය
1මුළු ඉශ්රායෙල් ප්‍රජාව, පළමු මාසයේ සීන් කාන්තාරය වෙත ළඟා වී, කාදෙෂ්හි නැවතුණහ. එහිදී මිරියාම් මිය ගියෙන්, එහිදී ම ඇය භූමදාන කරන ලදී.
2එහිදී ජනයාට වතුර නො වූ බැවින්, ඔවුහු මෝසෙස්ට හා ආරොන්ට එරෙහිව එක් රොක් වූහ. 3මෝසෙස් හා දබර කළ ඔවුහු, “ස්වාමින්වහන්සේ ඉදිරියේ අපේ සහෝදරයින් මැරී වැටුණු කල, අනේ අපත් මැරී ගියා නම්! 4අපත්, අපේ සතුනුත් මැරී යන්නට නුඹලා ස්වාමින්වහන්සේගේ ජන සමූහයා මේ පාළුකරයට ගෙන ආවේ කුමට ද? 5ඊජිප්තුවෙන් පිටතට මේ භයංකර ස්ථානයට අප ගෙන ආවේ කුමට ද? කෝ! මෙහි ධාන්‍ය නැත; අත්තික්කා නැත; මිදි වැල් නැත; දෙළුම් නැත. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ” යි කීහ.
6එවිට මෝසෙස් හා ආරොන්, එසේ රැස්වූවන් වෙතින් හමුවීමේ කූඩාරම් දොරකඩ වෙත ගොස්, මුණින් තලා වැටුණහ. එවිට ස්වාමින්වහන්සේගේ තේජෝ මහිමය ඔවුනට පෙනෙන්නට විය. 7ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 8“සැරයටිය ගෙන, ඔබත්, ඔබේ සහෝදර ආරොනුත් ජනතාව එක් රැස් කරවන්න. ඔවුන්ගේ ඇස් ඉදිරිපිට පර්වතයට කතා කරන්න. එවිට එය එහි වතුර ගලා යවනු ඇත. ජන සමූහයාට පර්වතයෙන් ඔබ වතුර ගෙන දෙනු ඇත. එවිට ඔවුන්ට ද ඔවුන්ගේ සතුනට ද බීමට හැකි වේ යැ” යි පැවසූ සේක.
9එවිට මෝසෙස් තමාට ස්වාමින්වහන්සේ අණ කළ ලෙස, උන්වහන්සේ අබියසින් සැරයටිය ගත්තේ ය. 10මෝසෙස් හා ආරොන් පර්වතය ඉදිරියේ සමූහයා එක් රැස් කරවූහ. ඉන්පසු ඔවුන් ඇමතූ මෝසෙස්, “කැරලිකරුවනි, මේ අහපල්ලා. මේ පර්වතයෙන් අප නුඹලාට වතුර ගෙන දෙන්න ඕනෑ දැ?” යි ඇසී ය. 11ඉන්පසු තම අත එසවූ මෝසෙස්, තම සැරයටියෙන් දෙවරක් පර්වතයට ගැසී ය. වතුර ඉන් ගලා හැලෙන්නට වන්නේ ය. ජන සමූහයත්, ඔවුන්ගේ සතුනුත් එයින් බීවෝ ය.
12එහෙත් මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, “ඉශ්රායෙල්වරුන් හමුවෙහි මගේ ශුද්ධත්වයට ගෞරව පැමිණෙන සේ ඔබ මා කෙරෙහි විශ්වාසය නො තැබූ බැවින්, මේ ප්‍රජාවට මා දෙන දේශයට ඔබ ඔවුන් ගෙන යන්නේ නැතැ” යි පැවසූ සේක.
13ඉශ්රායෙල්වරු ස්වාමින්වහන්සේ හා කලහ කළ තැන ද තමන්වහන්සේ ශුද්ධ වග උන්වහන්සේ ඔවුන් අතරෙහි පෙන්වා දුන් තැන ද වූ මෙරීබා ජලය#20:13 මෙරීබා ජලය එනම් කලහයේ ජලය මෙතැන ය.
ඒදොම් විරෝධය
14කාදෙෂ්හි සිට මෝසෙස් මෙසේ සඳහන් කරමින්, ඒදොම් රජු වෙත පණිවුඩකරුවන් යැව්වේ ය:
“ඔබේ සහෝදර ඉශ්රායෙල් ජනයා ඔබට මෙසේ කියති; ඔබ දන්නවා ඇති, අප පිට පැමිණි සියලු අසීරුතා ගැන. 15අපේ ආදි පියවරු ඊජිප්තුවට ගිය නිසා බොහෝ අවුරුදු ගණනක් අප එහි වාසය කළා. ඊජිප්තුවරුන් අපටත්, අපේ පියවරුන්ටත් සැලකුවේ අයුතුකමින්. 16එහෙත් අප ස්වාමින්වහන්සේට මොර ගැසූ කල, උන්වහන්සේ අපේ හඬ ගෑම අසා, දේව දූතයකු එවා, ඊජිප්තුවෙන් පිටතට අප ගෙනා සේක.
“දැන් අප සිටින්නේ ඔබේ දේශ සීමාවේ පිහිටි කාදෙෂ් නගරයේ; 17කරුණාකර, ඔබේ දේශය හරහා ඔබ්බට යෑමට අපට ඉඩ දෙන්න. අප යම් කෙතක් හෝ මිදි වත්තක් හෝ උඩින් යන්නේවත්, යම් ළිඳකින් වතුර බොන්නේවත් නැත. ඔබේ දේශය පසු කර යන තෙක්, දකුණටවත්, වමටවත් නො හැරී, රජ මාවත දිගේ ම අපි යන්නෙමු.”
18එහෙත්, ඒදොම් වෙතින් ලද පිළිතුර වූයේ,
“මේ රට හරහා ඔබ නො යා යුතු ය. එසේ කිරීමට ඔබ තැත් දැරුවහොත්, අපි අසිපත් දරා අවුත් ඔබට පහර දෙන්නෙමු” යන්නයි.
19ඉශ්රායෙල්වරු යළි ඔවුන් අමතමින්,
“අප ගමන් ගන්නේ මහ මාවත ඔස්සේ ම ය. අප හෝ අපේ සතුන් හෝ යම් හෙයකින් ඔබේ වතුර බීවහොත් අපි ඊට ගෙවන්නෙමු. අපට අවශ්‍ය අන් කිසිවක් නො ව, පා ගමනින් ඔබේ රට හරහා යෑම පමණි” යි පැවසූහ.
20ඔවුන් ද යළි පිළිතුරු දෙමින්,
“මේ රට හරහා ඔබ නො යා යුතු යැ” යි කීහ.
ඉන්පසු ඒදොම්වරු විශාල පිරිසකගෙන් බලවත් හමුදාවක් ඔවුන්ට එරෙහිව පිටත් ව ආහ. 21තම රට හරහා යෑම ඒදොම්වරුන් ප්‍රතික්ෂේප කළ බැවින්, ඉශ්රායෙල්වරු ඔවුන් වෙතින් වෙනතක හැරුණහ.
ආරොන්ගේ මරණය
22මුළු ඉශ්රායෙල් ප්‍රජාව කාදෙෂ් වෙතින් පිටත් ව හෝර් කන්දට පැමිණියහ. 23ඒදොම් දේශ සීමාවට නුදුරු හෝර් කන්දේදී, මෝසෙස් හා ආරොන් ඇමතූ ස්වාමින්වහන්සේ, 24“ආරොන්, මිය ගිය තම ජනයාට එකතු වනු ඇත. මෙරීබා ජලය අසලදී ඔබ දෙදෙනා මගේ අණට එරෙහිව කැරලි ගැසූ බැවින්, ඉශ්‍රායෙල්වරුනට මා දෙන දේශයට ඔහු ඇතුළු වන්නේ නැත. 25ආරොන් හා ඔහුගේ පුත් එලෙයාසර් හෝර් කන්ද උඩට කැඳවාගෙන එන්න. 26ආරොන්ගේ පූජක ඇඳුම් ඉවත් කොට, ඔහුගේ පුත් එලෙයාසර්ට ඒවා හඳවන්න. ආරොන්, මිය ගිය තම ජනයාට එක්වීමට යයි. ඔහු එහිදී මිය යන්නේ යැ” යි පැවසූ සේක.
27 ස්වාමින්වහන්සේ අණ කළ දේ මෝසෙස් කළේ ය. මුළු ජන සමූහයා බලා සිටියදී ඔවුහු හෝර් කන්දට නැගුණහ. 28ආරොන්ගේ ඇඳුම් ඉවත් කළ මෝසෙස් ඒවා ඔහුගේ පුත් එලෙයාසර්ට හැඳවී ය. එහි, කඳු මුඳුනේදී ආරොන් මියැදුණේ ය. මෝසෙස් හා එලෙයාසර් ඉන්පසු කන්දෙන් පහළට ආහ. 29ආරොන් මිය ගොස් ඇති වග දුටු කල, ඉශ්රායෙල් වංශික සියල්ලෝ තිස් දවසක් ඔහු උදෙසා ශෝක වූහ.
موجودہ انتخاب:
ගණන් 20: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.