ලෙවී 3

3
ශාන්ති පූජා
1“ ‘යමකුගේ යාග පූජාව, ශාන්ති පූජාවක් ව, ඔහු තම ගව රංචුවෙන් පිරිමි හෝ ගැහැනු සතකු ගෙන එන්නේ නම්, ස්වාමින්වහන්සේ අබියස ඔහු යාග කළ යුත්තේ, කැළැල් රහිත සතෙකි. 2හමුවීමේ කූඩාරම් පිවිසුම් දොරටුව ළඟදී, ඔහු තම පිදවිල්ලේ හිස මත අත තබා, ඉන්පසු ඌ මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින්, පූජාසනයේ හැම පැත්තක ම එම ලේ ඉසිය යුතු ය. 3මෙම ශාන්ති පූජාවෙන් කොටසක්, ඔහු ස්වාමින්වහන්සේට ගින්නෙන් යාග කිරීමට පිළිගැන්විය යුතු ය. එම කොටස් නම්, අතුණු වැසී ඇති මේදය හා අතුණු මත ඇති සියලු මේද කොටස් ද 4වකුගඩු යුගල හා ඒ වටා තුනටිය ළඟ මේදය ද වකුගඩු සමඟ ඉවත් කර ගන්නා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද වේ. 5ආරොන්ගේ පුත්‍රයින් වූ පූජකයින්, පූජාසනය මත ගින්නෙහි දර මත දැවෙන, දවන යාග පූජාවට උඩින් ඒවා තබා, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් වන ගින්නෙන් කළ පූජාවක් වශයෙන් ඒවා දවාලිය යුතු ය.
6“ ‘ස්වාමින්වහන්සේට ශාන්ති පූජාවක් වශයෙන් ඔහු එළු හෝ බැටළු හෝ රංචුවෙන් සතකු පිළිගන්වන්නේ නම්, ඔහු පිළිගැන්විය යුත්තේ, පිරිමි හෝ ගැහැනු හෝ කැළැල් රහිත සතෙකි. 7ඔහු පුද කරන්නේ බැටළුවකු නම්, ස්වාමින්වහන්සේ අබියසට ඔහු ඌ ගෙන ආ යුතු ය. 8ඔහු තම පූජා සතාගේ හිස මත අත තබා, ඉන්පසු හමුවීමේ කූඩාරම ඉදිරිපිටදී ඌ මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුත්‍රයින් පූජාසනයේ හැම පැත්තක, එම ලේ ඉසිය යුතු ය. 9ඔහු මෙම ශාන්ති පූජාවෙන් ස්වාමින්වහන්සේට ගින්නෙන් කරන යාගයක් ගෙන ආ යුතු ය. එනම්, එහි මේදය, කොඳු ඇටය ළඟින් කැපූ සම්පූර්ණ තෙල්-වලිගය, අතුණු වැසී ඇති මේදය හා අතුණු මත ඇති මේද කොටස් ද 10වකුගඩු යුගලය ද ඒ වටා තුනටිය ළඟ මේදය ද වකුගඩු සමඟ ඉවත් කර ගන්නා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද යනාදියයි. 11පූජකයා පූජාසනය මත ඒවා දවාලිය යුත්තේ, ස්වාමින්වහන්සේට පුදන ආහාර පූජාවක් වශයෙනි.
12“ ‘ඔහු පුද කරන්නේ එළුවකු නම්, ස්වාමින්වහන්සේ අබියසට ඔහු ඌ ගෙන ආ යුතු ය. 13ඔහු උගේ හිස මත අත තබා, හමුවීමේ කූඩාරම ඉදිරිපිටදී ඌ මැරිය යුතු ය. එවිට ආරොන්ගේ පුතුන් පූජාසනය හැම පැත්තක ම උගේ ලේ ඉසිය යුතු ය. 14එසේ පුද කළ සතාගෙන් ඔහු ස්වාමින්වහන්සේට ගින්නෙන් යාගයක් පිළිගැන්විය යුතු ය. එය නම්, අතුණු වැසී ඇති මේදය ද අතුණු මත ඇති සියලු මේද කොටස් ද 15වකුගඩු යුගලය ද ඒ වටා තුනටිය ළඟ මේදය ද වකුගඩු සමඟ ඉවත් කර ගන්නා අක්මාවේ දිගු ඛණ්ඩිකාව ද යනාදියයි. 16පූජකයා පූජාසනය මත ඒවා දවාලිය යුත්තේ ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් ව, ගින්නෙන් කළ ආහාර පූජාවක් වශයෙනි. මේදය මුළුමනින් ම අයිති ස්වාමින්වහන්සේට ය.
17“ ‘කොතැනක වාසය කළ ද, මතු එන පරම්පරා සඳහා මෙය ඔබට සදාතනික නියෝගයකි; සත්ව මේදය හෝ ලෙය හෝ කෙලෙසකවත් ඔබ අහරට නො ගත යුතු ය.’ ”

موجودہ انتخاب:

ලෙවී 3: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in