ලෙවී 18
18
තහනම් ලිංගික සබඳතා
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ඉශ්‍රායෙල් ජනයාට කතා කොට, මෙසේ කියන්න. ‘ඔබේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය. 3කලක් ඔබ වාසය කළ ඊජිප්තු දේශයේ ජනයා කරන පරිදි හා මා ඔබ ගෙන යන කානාන් දේශයේ ජනයා කරන පරිදි, ඔබ කටයුතු නො කළ යුතු ය. ඔවුන්ගේ වතාවත් අනුගමන නො කරන්න. 4ඔබ මගේ නියමයන්වලට කීකරු විය යුතු ය; මගේ නියෝග ලැදියාවෙන් පිළිපැදිය යුතු ය. ඔබගේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ ය. 5මගේ නියෝග හා නියමයන් පිළිපදින්න; ඒවා පිළිපදින්නා, එයින් ම ජීවත් වන්නේ ය. මම ස්වාමින්වහන්සේ ය.
6“ ‘ඔබගෙන් කිසිවකු, නග්නත්වය නිරාවරණ කරනු සඳහා ළඟ නෑයකු වෙත නො එළැඹෙන්න. ස්වාමින්වහන්සේ මම ය.
7“ ‘ඔබේ පියාගේ නග්නත්වය වන ඔබේ මවගේ නග්නත්වය නිරාවරණ නො කරන්න. ඕ තොමෝ ඔබගේ මෑණියන් දෑ ය. ඇගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය.
8“ ‘ඔබේ පියාගේ බිරිඳගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. එය ඔබේ පියාගේ නග්නත්වය ය.
9“ ‘එක නිවසේ හෝ අන් තැනක හෝ වැඩුණා වුව ද, ඔබේ පියාගේ දියණිය හෝ ඔබේ මවගේ දියණිය හෝ වන ඔබේ සහෝදරියගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය;
10“ ‘ඔබේ පුතුගේ දියණිය හෝ ඔබේ දුවගේ දියණියගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. එය ඔබගේ ම නග්නත්වයයි.
11“ ‘ඔබේ පියාට දාව ඔහුගේ බිරිඳගේ දියණියගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. ඇය ඔබේ සහෝදරියයි.
12“ ‘ඔබේ පියාගේ සහෝදරියගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. ඇය ඔබේ පියාගේ ළඟ නෑයෙකි.
13“ ‘ඔබේ මවගේ සහෝදරියගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. ඇය ඔබේ මවගේ ළඟ නෑයෙකි.
14“ ‘ඔබේ පියාගේ සහෝදරයාගේ නග්නත්වය වන ඔහුගේ බිරිඳ වෙත නො එළැඹිය යුතු ය. ඇය ඔබේ ළඟ නෑයෙකි#18:14 ළඟ නෑයෙකි එනම් මහම්මා හෝ පුංචි අම්මා.
15“ ‘ඔබේ ලේළිගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. ඇය ඔබේ පුත්‍රයාගේ බිරිඳ ය. ඇගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය.
16“ ‘ඔබේ සහෝදරයාගේ බිරිඳගේ නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. ඒ, ඔබගේ සහෝදරයාගේ නග්නත්වය ය.
17“ ‘කාන්තාවකගේ ද ඇගේ දියණියගේ ද නග්නත්වය ඔබ නිරාවරණ නො කළ යුතු ය. තවද, එම කාන්තාවගේ පුතකුගේ හෝ දියණියකගේ හෝ දියණියක වෙත ඇගේ නග්නත්වය නිරාවරණයට ඔබ නො යා යුතු ය. ඔවුන් නෑයින් ය. එය දූෂිතකමකි.
18“ ‘බිරිඳ ජීවත් ව සිටියදී, ඇගේ සහෝදරිය විකල්ප බිරිඳක වශයෙන් ගෙන, ඇගේ නග්නත්වය නිරාවරණ නො කළ යුතු ය.
19“ ‘කාන්තාවක් ඇගේ මාසික ඔසප්වීමෙන් අපවිත්‍ර ව සිටියදී, ඇගේ නග්නත්වය නිරාවරණයට ඔබ ඇය වෙත ළඟා නො විය යුතු ය.
20“ ‘ඔබේ අසල්වැසියාගේ බිරිඳ සමඟ ලිංගික ඇසුරක නො යෙදෙන්න. ඇය සමඟින් ඔබ දූෂ්‍ය කර නො ගන්න.
21“ ‘ඔබේ දරුවන් මොලෙක් දේවතාවාට ගිනි පූජාවක් සඳහා නො දිය යුතු ය. එමඟින් ඔබේ දෙවියන්වහන්සේගේ නාමය ඔබ නො කෙලෙසිය යුතු ය. මම ස්වාමින්වහන්සේ ය.
22“ ‘ස්ත්‍රියක සමඟ විලස, පිරිමියකු සමඟ ලිංගික ව නො හැසිරිය යුතු ය. එය පිළිකුල්කමකි.
23“ ‘කිසියම් සතකු සමඟ ද එසේ ලිංගික ව හැසිර, ඔබ දූෂ්‍ය නො විය යුතු ය. සතකු සමඟ කිසියම් ලිංගික ඇසුරකට කිසිදු ස්ත්‍රියක් ඉදිරිපත් නො විය යුතු ය. එය දුරාචාරයකි.
24“ ‘ඉහත කී කිසි අයුරකින් ඔබ දූෂ්‍ය නො විය යුතු ය. මන්ද, ඔබ ඉදිරිපිටින් මා පන්නා දමන්නට යන ජාතීන් දූෂ්‍ය වූයේ ඒ අයුරිනි. 25දේශය පවා දූෂ්‍ය ව ඇත. එබැවින් එහි පාපය නිසා මම ඊට දඬුවම් කරමි. දේශය ද එහි වැසියන් වමාරා ඇත. 26එහෙත් ඔබ, මගේ නියෝග ද මගේ නියමයන් ද රක්ෂා කළ යුතු ය. ස්වදේශිකයින් වේවා, ඔබ අතරේ වෙසෙන විදේශිකයන් වේවා ඉහත දැක්වුණු පිළිකුල්කම් නො කළ යුතු ය. 27ඔබට කලින් ඒ දේශයේ විසූවෝ එකී සියලු ආකාර දූෂ්‍යතාහි යෙදුණහ. එමඟින් දේශය ද දූෂ්‍ය විණි. 28ඔබත් දේශය දූෂ්‍ය කළහොත්, දේශය විසින් ඔබ ද වමාරනු ලබන්නේ ඔබට කලින් විසූ ජාතීන්ට වූ පරිද්දෙනි.
29“ ‘එම කවර පිළිකුල්කමක් වුව කරන කවරකු වුව ද, ස්වකීය ජනයා වෙතින් සිඳ දමනු ලැබිය යුතු ය. 30මගේ නියමයන් පිළිපදින්න. ඔබට කලින් කරන ලද පිළිකුල් චාරිත්‍ර අත්හරින්න. ඒවායින් දූෂ්‍ය නො වන්න. ඔබේ දෙවියන්වහන්සේ වන මම ස්වාමින්වහන්සේ යැ’ යි” පැවසූ සේක.
موجودہ انتخاب:
ලෙවී 18: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.