ලෙවී 17
17
ලේ අනුභව තහනම
1 ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, 2“ආරොන්ට ද ඔහුගේ පුතුන්ට ද මුළු ඉශ්‍රායෙල් ජනතාවට ද කතා කොට, මෙසේ කියන්න: ‘ස්වාමින්වහන්සේ නියම කළ දේ මෙයයි; 3ඉශ්‍රායෙල් වංශයේ යමකු, කඳවුර ඇතුළත නැතහොත් කඳවුරෙන් පිටත ගවයකු හෝ බැටළුවකු හෝ එළුවකු හෝ පූජාවක් පිණිස මරන්නේ නම් 4හා ස්වාමින්වහන්සේගේ මණ්ඩපය ඉදිරියේ ස්වාමින්වහන්සේට පූජාවක් වශයෙන් පිළිගැන්වීමට, හමුවීමේ කූඩාරම් දොරකඩට ඌ ගෙන එන්නේ නැති නම්, ලේ වැගිරීම ගැන ඔහු වරදකරුවකු වෙයි. ඔහු ලේ වැගුරූ බැවින් ස්වකීය ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය. 5මෙහි අරමුණ ඉශ්‍රායෙල් ජනයා එළිමහනේදී කරන යාග පූජා ස්වාමින්වහන්සේ වෙත ගෙන එන පිණිස ය. ඔවුහු ඒවා හමුවීමේ කූඩාරම් දොරකඩට පූජකයා වෙත ගෙන අවුත්, ස්වාමින්වහන්සේට ශාන්ති පූජාවක් වශයෙන් පූජා කළ යුතු ය. 6පූජකයා හමුවීමේ කූඩාරම් දොරකඩ ඇති ස්වාමින්වහන්සේගේ පූජාසනය පිට ලේ ඉස, ස්වාමින්වහන්සේට මිහිරි සුවඳක් කොට මේදය දවාලිය යුතු ය. 7ඒ, ඔවුන් තවදුරටත් තම යාග පූජා, එළු-යක්ෂාත්මයන්ට යාග කිරීමේ වේශ්‍යාකමෙහි නොයෙදෙන පිණිස ය. මෙය ඔවුන්ගේ මතු පරම්පරා සඳහා සදාතනික නියෝගයකි.’
8“ ‘යම් ඉශ්‍රායෙල් වංශිකයකු නැතහොත් ඔවුන් අතර වෙසෙන විදෙස්සකු, දවන පූජාවක් හෝ යාගයක් හෝ ඔප්පු කරන කල, 9එය ස්වාමින්වහන්සේට ඔප්පු කරන පිණිස හමුවීමේ කූඩාරම් දොරකඩට ගෙන එන්නේ නැති නම්, ස්වකීය ජනයා වෙතින් ඔහු සිඳ දැමිය යුතු ය.
10“ ‘යම් ඉශ්‍රායෙල් වංශිකයකු නැතහොත් ඔවුන් අතර වෙසෙන විදෙස්සකු, ලෙය පරිභෝජන කළහොත්, එසේ ලේ පරිභෝජන කරන්නාට එරෙහිව මගේ මුහුණ යොමා, තමන් ජනයා වෙතින් මම ඔහු සිඳ දමන්නෙමි. 11මන්ද ජීවියකුගේ පණ රැඳී ඇත්තේ ලේවල ය. ඔබ උදෙසා පූජාසනය මත පාප වන්දි නිවාරණයට මා ඔබට නියම කළේ ලේ ය. යමකුගේ ජීවිතය වෙනුවෙන් පාප වන්දි නිවාරණය සලසනු ලබන්නේ ලෙයිනි. 12එබැවින් ඉශ්‍රායෙල් ජනයාට මම මෙසේ කියමි: “ඔබ කවරකුවත් ලේ පරිභෝජන නො කළ යුතු ය. ඔබ අතරේ වෙසෙන කවර විදෙස්සකුවත් ලේ පරිභෝජන නො කළ යුතු ය.”
13“ ‘යම් ඉශ්‍රායෙල්වරයකු, නැතහොත් ඔවුන් අතර වෙසෙන විදෙස්සකු, අහරට කැප සතකු හෝ කුරුල්ලකු දඩයම් කර ගන්නා කල, උගේ ලේ ගලා යන්නට හැර, ඒවා පස්වලින් වසා දැමිය යුතු ය. 14මන්ද, කවර ජීවියකුගේ වුව පණ, උගේ ලෙයයි. මා ඉශ්‍රායෙල්වරුන් අමතා, “සෑම ජීවියකුගේ ම පණ ඇත්තේ උගේ ලේවල බැවින් කිසිදු ජීවියකුගේ ලේ අහරට නො ගන්න. ලේ අහරට ගන්නා කවරකු වුව, සිඳ දැමිය යුතු යැයි” කීවේ එබැවිනි.
15“ ‘මැරුණු සතකුගේ හෝ වන සතුන් විසින් ඉරා දමන ලද සතකුගේ හෝ මස අනුභව කරන ස්වදේශීය හෝ විදේශීය හෝ කවරකු වුව තමන් හැඳිවත් සෝදා, ජලයෙහි නා ගත යුතු ය. සවස දක්වා ඔහු අපවිත්‍ර ව සිටී. ඉන්පසු ඔහු පවිත්‍ර වෙයි. 16එහෙත් ඔහු හැඳිවත් සෝදා ගන්නේවත්, දිය නා ගන්නේවත් නැති නම්, එහි විපාකය ඔහු විඳිය යුතු ය.’ ”
موجودہ انتخاب:
ලෙවී 17: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.