යෝෂුවා 17
17
මනස්සේ සඳහා වෙන් වූ කොටස්
1ඉන්පසු මනස්සේගේ ගෝත්‍ර වංශයට කොටසක් වෙන් කරනු ලැබිණ. මන්ද යෝසෙප්ගේ කුලුඳුලා ඔහු ය. මනස්සේගේ කුලුඳුලා ද ගිලියාද්ගේ පියා ද වන මාකීර්ට ගිලියාද් හා බාෂාන් වෙන් කර දෙන ලද්දේ ඔහු යුද්ධ වීරයෙක් වූ නිසා ය. 2මනස්සේ ගෝත්‍ර වංශික සෙසු පෙළපත්වලට අනුව, අබියෙසෙර්, හේලෙක්, අස්රියෙල්, ෂෙකෙම්, හේෆෙර් හා ෂෙමීදාට කොටස් බෙදා දෙන ලදී; ඔවුන්ගේ පෙළපත්වලට අනුව යෝසෙප්ගේ පුත්‍ර මනස්සේගෙන් පැවත එන පිරිමින් ඔවුහු ය.
3තවද මනස්සේගේ පුත්‍ර මාකීර්ගේ පුත්‍ර, ගිලියාද්ගේ පුත්‍ර, හේෆෙර්ගේ පුත්‍ර සෙලොෆෙහාද්ට පුතුන් සිටියේ නැත; සිටියේ දූවරු පමණි. ඔවුන්ගේ නාම මාලා, නොවා, හොග්ලා, මිල්කා හා තිර්සා ය. 4ඔවුහු පූජක එලෙයාසර් ද නූන්ගේ පුත් යෝෂුවා ද නායකයින් ද වෙත පැමිණ, කතා කොට, “අපගේ සහෝදරයන් අතරේ අපට උරුමයක් දෙන ලෙස ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ සේකැ” යි පැවසූහ. එබැවින් ඔහු ස්වාමින්වහන්සේගේ ආඥාවට අනුව, ඔවුන්ගේ පියාගේ සහෝදරයින් අතරේ ඔවුන්ට උරුමයක් දුන්නේ ය. 5මෙසේ යොර්දානෙන් එතෙර ගිලියාද් හා බාෂාන් භූමි ප්‍රදේශ හැර, මනස්සේගේ උරුම කොටසට බිම් කොටස් දහයක් වැටිණ. 6මන්ද මනස්සේ දූවරුන්ට ද ඔහුගේ පුත්‍රයින් අතරේ උරුමයක් ලැබුණු නිසා ය. ගිලියාද් දේශය සෙසු මනස්සේ ජනයාට වෙන් කර දෙනු ලැබිණ.
7මනස්සේගේ දේශය, ආෂෙර් පටන් ෂෙකෙම්ට නැගෙනහිරින් පිහිටි මික්මෙතාත් දක්වා විහිදිණ. දේශ සීමාව, දකුණු දෙසට ඒන්-තප්පූවා වාසීන්ගේ දේශය දක්වා දිවෙයි. 8තප්පූවා දේශය මනස්සේට අයත් ය. එහෙත් මනස්සේගේ දේශ සීමාවේ පිහිටි තප්පූවා නගරය එප්‍රායිම්වරුන්ගේ විය. 9එතැනින් දේශ සීමාව, කානා ඔයේ දකුණ දක්වා විහිදිණි. මනස්සේගේ නගර අතරේ එප්‍රායිම්ට අයිති නගර ද විය. එහෙත් මනස්සේගේ සීමාව, ඔයේ උතුරු පැත්ත වූ අතර එය මුහුදින් කෙළවර විය. 10දකුණු දෙසට වූ දේශය එප්‍රායිම්ගේ විය. උතුරු දෙසට මනස්සේගේ විය. ඔවුන්ගේ සීමාව සැකසුණේ මුහුදිනි. ඒ සීමාව උතුරින් ආෂෙර්ට ද නැගෙනහිරින් ඉස්සාකර්ට ද ළඟා විණ.
11ඉස්සාකර් සහ ආෂෙර් ඇතුළත පිහිටි බෙත්-ෂෙයාන් සහ එහි ගම්මාන ද ඉබ්ලෙයාම් සහ එහි ගම්මාන ද දෝර් වාසීන් හා එහි ගම්මාන ද ඒන්-දෝර් වාසීන් සහ එහි ගම්මාන ද තානක් වාසීන් සහ එහි ගම්මාන ද මෙගිද්දෝ වාසීන් සහ එහි ගම්මාන ද මනස්සේට තිබිණි; තෙවැන්න නාෆත් ය.
12එහෙත් මනස්සේ ජනයාට එම නගර අත්කර ගැනීමට නො හැකි විය. ඒ කානානිවරුන් ඒ පළාතේ වාසය කරන්නට දැඩි ව අදිටන් කර සිටි බැවිනි. 13කෙසේ වුවත් ඉශ්රායෙල්වරුන් බලවත් ව වර්ධන වූ කල, ඔවුහු කානානිවරුන් බර වැඩ සඳහා යොදවා ගත්හ. එහෙත් මුළුමනින් ම ඔවුන් පන්නා දැමුවේ නැත.
14යෝසෙප් පුත්‍රයෝ යෝෂුවා අමතමින්, “ස්වාමින්වහන්සේ අපට බෙහෙවින් ආශිර්වාද කොට, ගණනින් අප ඉමහත් ව සිටියදීත්, උරුමයක් වශයෙන් ඔබ එක් කොටසක් හා එක් පංගුවක් පමණක් අපට දුන්නේ ඇයි දැ?” යි ඇසූහ.
15යෝෂුවා ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ ගණනින් අධික ජනතාවක් නම්, එප්‍රායිම් කඳුරට ඔබට ඉතා පටු බැවින්, ඔබ ම වනාන්තරයට ගොස්, පෙරිස්සිවරුන්ගේ හා රෙෆායිවරුන්ගේ දේශයෙන් එළිපෙහෙලි කර ගන්නැ” යි කී ය.
16යෝසෙප් පුත්‍රයෝ පිළිතුරු දෙමින්, “කඳුරට අපට ප්‍රමාණවත් නො වේ. ඒ හැර බෙත්-ෂෙයාන් හා එහි ගම්මාන ද යෙස්රෙයෙල් මිටියාවතෙහි ද යන දෙපළාතේ ම වාසය කරන සියලු කානානිවරුන්ට යකඩ යුද්ධ රථ තිබේ යැ” යි කීහ.
17එවිට යෝෂුවා, යෝසෙප් වංශයට, එප්‍රායිම්ට සහ මනස්සේට කතා කොට, “නුඹලා මහ බලයක් ඇති, ගණනින් බොහෝ වූ ජනතාවක්; නුඹලාට ලැබෙන්නේ එක කොටසක් පමණක් නො වෙයි. 18කඳුකරයත්, නුඹලාටයි. එය කැලෑවක් වුවත්, එළිපෙහෙලි කර ගෙන, එය අන්තිම කෙළවරට ම උරුම කර ගන්න. කානානිවරුන්ට යකඩ යුධ රථ තිබුණත්, ඔවුන් බලවත් වුවත්, නුඹලා ඔවුන් පන්නා දමනු ඇතැ” යි පැවසී ය.
موجودہ انتخاب:
යෝෂුවා 17: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.