විනිසුරුවෝ 15

15
සම්සොන් විසින් පිලිස්තිවරුන්ගෙන් පළි ගැනීම
1ටික දිනකට පසුව, තිරිඟු අස්වනු සමයේ සම්සොන් එළු පැටවකු ද ගෙන, තම බිරිඳ බලන්නට ගියේ ය. “මම මගේ බිරිඳගේ කුටියට යමි” යි ඔහු කීව ද, ඇගේ පියා එතුළට යෑමට ඔහුට ඉඩ දුන්නේ නැත.
2ඇගේ පියා ඔහු අමතමින්, “ඔබ සැබවින් ම ඇයට වෛර වූ වග මට වැටහී ගියා. එනිසා නුඹේ යහළුවාට මා ඇය දුන්නා. ඇගේ බාල සහෝදරී, ඇයටත් වඩා සුරූපී නො වේ ද? ඇය වෙනුවට මැය ගන්නැ” යි කීවේ ය.
3එවිට සම්සොන් ඔවුන් අමතමින්, “මේ වාරේ මා පිලිස්තිවරුන්ට කරන හානිය ගැන මා නිදොස් යැ” යි කීවේ ය. 4ඉන්පසු සම්සොන් පිටතට ගොස්, නරි තුන්සිය දෙනකු අල්ලා, දෙන්නා-දෙන්නා බැගින් උන් වලිගාවලින් බැන්දේ ය. ඉන්පසු ඒ වලිග යුගලකට පන්දම බැගින් තබා බැඳ, 5ඒ පන්දම් ගිනි ලා, පිලිස්තීන්ගේ පැසුණු ගොයම මධ්‍යයට ඒ නරි හැරියේ ය. ඔහු එලෙසින් කැපූ ගොයම් මිටි ද නො කැපූ ගොයම ද මිදි වතු හා ඔලීව උයන් ද ගිනි ලෑවේ ය.
6එවිට පිලිස්තිවරු, “කවුරු ද මෙය කළේ?” යි ඇසූහ. “තිම්නීයයාගේ බෑණා, සම්සොන් ය. එසේ කර ඇත්තේ, ඔහුගේ බිරිඳ ඔහුගේ යහළුවාට දුන් නිසා යැ” යි දන්වනු ලැබිණ.
එබැවින් පිලිස්තිවරු අවුත්, ඇය ද ඇගේ පියා ද ගින්නෙන් පුලුස්සා දැමූහ. 7එවිට සම්සොන් ඔවුන්ට කතා කොට, “එහෙනම් නුඹලා මෙහෙමයි කළේ. මමත් නුඹලාගෙන් පළිය ගන්නා තෙක් නවතින්නේ නැති වගට දිවුරමි” යි කීවේ ය. 8ඔහු ඔවුන්ට ගිය ගිය අත සැහැසි ලෙස පහර දී, ඉමහත් ඝාතනයක් කළේ ය. ඉන්පසු ඔහු පහළට ගොස්, ඒටාම් පර්වතයේ ගුහාවක නැවතී සිටියේ ය.
9එකල පිලිස්තිවරු ගොස්, යූදාහි කඳවුරු ගසා, ලෙහී ආක්‍රමණ කළහ. 10යූදා ජනයා ඔවුන් විමසමින්, “නුඹලා අපට විරුද්ධ ව ආවේ මන්දැ?” යි ඇසූහ.
ඔවුහු පිළිතුරු දෙමින්, “සම්සොන් අපට කළ ලෙස, ඔහුටත් කරන්නට ඔහු අල්ලා බැඳ දැමීමට යැ” යි කීහ.
11එවිට, තුන්දහසක් යූදා ජනයා ඒටාම් පර්වත ගුහාව වෙත පහළට ගොස්, සම්සොන්ට කතා කොට, “පිලිස්තිවරුන් අපේ පාලකයින් වග නුඹ දන්නේ නැති ද? මොනවද මේ නුඹ අපට කර තිබෙන්නේ?” යි ඇසූහ.
“ඔවුන් මට කළ දේ ම මමත් ඔවුන්ට කළෙමි” යි ඔහු පැවසී ය.
12ඔවුහු කතා කරමින්, “අප ආවේ නුඹ බැඳගෙන ගොස්, පිලිස්තිවරුන් අතට බාර දීමට යැ” යි කීහ.
එවිට සම්සොන්, “නුඹලා මට පහර දෙන්නේ නැති වගට දිවුරන්නැ” යි ඉල්ලී ය.
13ඔවුහු පිළිතුරු දෙමින්, “හොඳයි! සැබවින් ම අප නුඹ මරා දමන්නේ නැත. නුඹ බැඳ, ඔවුන් අතට බාර දෙනවා පමණ යැ” යි කීහ. මෙසේ, අලුත් කඹ දෙකකින් ඔහු වෙළූ ඔවුහු පර්වතයෙන් උඩහට ඔහු ගෙන ගියහ. 14ඔහු ලෙහී වෙත ළඟා වෙද්දී, පිලිස්තිවරු කෑ කොස්සන් දෙමින්, ඔහු හමුවට ආහ. එවිට, ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ බලවත් ලෙස ඔහු පිට පැමිණි සේක. උරහිස් මත වූ කඹ ගින්නට හසු වූ හණ මෙන් විය. ඔහුගේ බැඳුම් දිය විය. 15ඔහුට බූරුවකුගේ අලුත් හකු ඇටයක් හමු විණි. එය අහුලා ගත් ඔහු මිනිසුන් දහසක් ඉන් ගසා හෙළී ය.
16ඉන්පසු සම්සොන්:
“බූරුවකුගේ හකු ඇටයකින්
ගොඩවල් පිට ගොඩ ගැසීමි.
බූරුවකුගේ හකු ඇටයකින්
මම මිනිසුන් දහසක් මැරීමි” යි
කීවේ ය.
17එසේ කියා නිම වූ පසු, ඔහු එම හකු ඇටය ඉවත විසී කළේ ය. එම ස්ථානය, රාමත්-ලෙහී#15:17 රාමත්-ලෙහී එනම් හකු ඇට හෙල නමින් හැඳින්විණ.
18ඔහුට තද පිපාසයක් දැනිණ. එබැවින් ඔහු ස්වාමින්වහන්සේට හඬ ගසමින්, “ඔබගේ මේ සේවකයා මගින් ඔබවහන්සේ මේ විශිෂ්ට ජයග්‍රහණය දුන් සේක. එහෙත්, දැන් මා පිපාසයෙන් මියැදී, මේ චර්ම-අඡේදිතයන්ගේ අතට හසු විය යුතු දැ?” යි කෑගැසී ය. 19එවිට දෙවියන්වහන්සේ ලෙහීහි තිබූ කුහර සහිත තැනක් විවර කළ සේක. එතැනින් වතුර ගලා ආවේ ය. සම්සොන් එයින් බීවේ ය. එවිට යළි ශක්තිය ලැබූ ඔහු නව පණක් ලැබී ය. එබැවින් එම උල්පත, ඒන්-හක්-කෝරේ#15:19 ඒන්-හක්-කෝරේ එනම් හඬ ගැසූ අයගේ උල්පත නමින් හඳුන්වනු ලැබී ය. එය මේ දක්වා ලෙහීහි තිබේ.
20පිලිස්තිවරුන්ගේ සමයේ සම්සොන් අවුරුදු විස්සක් ඉශ්‍රායෙල් විනිශ්චය කළේ ය.

موجودہ انتخاب:

විනිසුරුවෝ 15: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in