විනිසුරුවෝ 14
14
සම්සොන්ගේ විවාහය
1සම්සොන්, තිම්නා නගරයට ගිය කල, තිම්නාහි දී යොවුන් පිලිස්ති ළඳක් ඔහුගේ ඇස ගැසුණේ ය. 2තම පියාත්, මවත් වෙත ආපසු පැමිණි සම්සොන්, ඔවුන්ට කතා කොට, “මා අද තිම්නාහි දී පිලිස්ති ළඳක් දුටුවා. මගේ බිරිඳ කොට ඇය මට ගෙනැවිත් දෙන්නැ” යි කී ය.
3එවිට ඔහුගේ පියාත්, මවත්, “නුඹේ නෑයින් අතරේවත්, අපේ ජනයා අතරේවත් සුදුසු ස්ත්‍රියක් නැතිවට ද නුඹ මේ චර්ම-අඡේදිත පිලිස්තීන් අතරින් බිරිඳක් ගන්නට යන්නේ?” යි ඇසූහ.
එහෙත් සම්සොන් තම පියා අමතමින්, “මට ඇය ගෙනැවිත් දෙන්න. මගේ කැමැත්ත ඇයට” යි කී ය. 4ස්වාමින්වහන්සේගෙන් මෙය පැමිණියක් වග ඔහුගේ පියා හා මව නො දත්හ. මන්ද උන්වහන්සේ පිලිස්තිවරුනට එරෙහිවීමේ අවස්ථාවක් සොයමින් සිටි සේක. එවක ඉශ්‍රායෙල් පාලනය කළෝ පිලිස්තිවරු ය.
5සම්සොන් තම පියා ද මව ද කැටිව, තිම්නා බලා ගියේ ය. තිම්නා මිදි වතුවලට ළඟා වෙමින් සිටියදී, මෙන්න! හදිසියේ ම සිංහ නාම්බෙක් ගොරවමින්, ඔහු දෙසට ආවේ ය. 6ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ ඔහු පිට පැමිණි සේක. එවිට ඔහු නිරායුධ තම දෑතින් සිංහයා දෙකඩ ව ඉරා දැමුවේ, එළු පැටවකු ඉරා දමන්නාක් මෙනි. එහෙත් තමා කළ දේ ගැන ඔහු තම පියාට හෝ මවට කීවේ නැත. 7ඉන්පසු ඔහු ගොස්, එම කාන්තාව සමඟ කතා කළේ ය. සම්සොන්ට ඇය ප්‍රසන්න විය.
8පසුව, ඇය විවාකර ගැනීමට නැවතත් එහි යද්දී සිංහ මළකුණ බැලීමට, ඔහු එදෙසට හැරී ගියේ ය. එවිට මෙන්න! සිංහ මළකුණෙහි මී මැසි රොත්තක් හා මී පැණි! 9ඔහු තම අතින් ඒවා සූරාගෙන, එය කමින්, ගමන් ගත්තේ ය. ඔහු තම පියා හා මව වෙත අවුත්, ඔවුන්ට ද දුන්නේ ය. ඔවුහු ද ඒවා කෑහ. තමා ඒවා ගත්තේ සිංහ මළකුණෙන් වග ඔහු ඔවුන්ට කීවේ නැත.
10ඔහුගේ පියා ඒ කාන්තාව බැහැදැකීමට ගියේ ය. සම්සොන් එහිදී සාදයක් පැවැත්වී ය. මන්ද තරුණයන් අතර එවැනි සිරිතක් තිබිණි. 11ජනයා ඔහු දුටු විට ඔහු සමඟ සිටින්නට සගයින් තිස්දෙනකු පත් කළහ.
12සම්සොන් ඔවුන් අමතමින්, “මා දැන් ඔබෙන් තේරවිල්ලක් අහනවා. සාදයේ දවස් හත අතරේ ඔබට එය විසඳිය හැකි වුවහොත්, මා ඔබට හණ ඇඳුම් තිහක් හා ඇඳුම් කට්ටල තිහක් දෙනවා. 13එහෙත් ඒ කුමක් දැයි ඔබට කිව නො හැකි වුවහොත්, හණ ඇඳුම් තිහක් හා ඇඳුම් කට්ටල තිහක් ඔබ මට දිය යුතු යැ” යි කීවේ ය.
ඔවුහු පිළිතුරු දෙමින්, “හා, ඔබේ තේරවිල්ල කියන්න. අපි එය අහමු” යි කීහ.
14එවිට ඔහු ඔවුන් අමතමින්,
“කා දමන්නාගෙන් කෑමක් නික්මිණි.
බලවතාගෙන් මිහිරක් නික්මිණැ” යි
පැවසී ය.
දවස් තුනක් ම ඔවුන්ට එම තේරවිල්ල විසඳිය නො හැකි විය.
15හතර වන දවසේ ඔවුහු සම්සොන්ගේ බිරිඳට කතා කොට, “තේරවිල්ල අපට කියන පිණිස චාටුවෙන් නුඹේ සැමියා පොලඹවන්න. නැතහොත්, අපි නුඹත්, නුඹේ පියාගේ නිවසත් ගිනිලන්නෙමු. නුඹලා අප කැඳවා ගත්තේ අප හිඟමනට දමන්නට දැ?” යි පැවසූහ.
16එවිට, සම්සොන්ගේ බිරිඳ ඔහු ඉදිරියේ හඬා වැටී, “ඔබ මට වෛර කරනවා පමණයි; සැබෑ ආදරයක් ඇත්තේ ම නැහැ. ඔබ මගේ අයට තේරවිල්ලක් කී නමුත්, එහි විසඳුම මට කීවේ නැහැ!” යි කීවා ය.
ඔහු ඇයට පිළිතුරු දෙමින්, “මේ බලන්න, මගේ පියාටවත්, මවටවත් මා එය නො කී කොට, මා නුඹට කියන්නේ කුමට දැ?” යි ඇසී ය. 17කෙසේ වුව ද සාදය පැවති හත් දවසේ ම ඈ ඔහු ඉදිරියෙහි හැඬුවා ය. එබැවින් හත් වන දවසේ ඔහු ඇයට එය පැවසී ය. ඇගේ පෙරැත්තය ඒ සා බලවත් විය. පසුව ඈ, ඇගේ ජනයාට තේරවිල්ල කියා දුන්නා ය.
18හත් වන දවසේ හිරු බැස යන්නට කලින් එපුර වාසීහු ඔහු අමතමින්,
“මී පැණියට වඩා මිහිර කවරේ ද?
සිංහයකුට වඩා බලවතා කවරේ දැ?” යි කීහ.
එවිට සම්සොන් ඔවුන් අමතමින්,
“නුඹලා මගේ නෑම්බිය යොදා හෑවේ නැති නම්,
මගේ තේරවිල්ල විසඳන්නේ නැතැ” යි
කීවේ ය.
19එවිට ස්වාමින්වහන්සේගේ ආත්මයාණෝ වහ වහා ඔහු පිට පැමිණි සේක. එවිට අෂ්කෙලොන් වෙත පල්ලම් බැස්ස ඔහු, නගරයේ මිනිසුන් තිස්දෙනකු ගසා හෙළා, ඔවුන් සතු දෑ පැහැර, ඔවුන්ගේ ඇඳුම් ගෙන, තේරවිල්ල විසඳූ අයට දුන්නේ ය. ඔහු තම පියාගේ ගෙදරට ගියේ කෝපයෙන් ඇවිළෙමිණි. 20සම්සොන්ගේ බිරිඳ, මනාල මිතුරා ලෙස පැමිණි ඔහුගේ සගයාට දෙන ලද්දී ය.
موجودہ انتخاب:
විනිසුරුවෝ 14: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.