උත්පත්ති 46

46
යාකොබ්, ඊජිප්තුව බලා යයි
1ඉශ්‍රායෙල් තමා සන්තක සියල්ල ද රැගෙන, පිටත් වූයේ ය. බෙයර්ෂෙබා වෙත ළඟා වූ ඔහු, තම පියා වූ ඊසාක්ගේ දෙවියන්වහන්සේට යාග පූජා ඔප්පු කළේ ය.
2එවිට රාත්‍රි දර්ශනයකින් දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් අමතමින්, “යාකොබ්, යාකොබ්” යැයි හඬ ගැසූ සේක.
“මං මෙහේ” යි ඔහු පිළිතුරු දුන්නේ ය.
3උන්වහන්සේ කතා කරමින්, “මම දෙවියන්වහන්සේ ය, ඔබේ පියාගේ දෙවියන්වහන්සේ ය. ඊජිප්තුවට යෑමට භය නො වන්න. මන්ද එහිදී මහත් ජාතියක් බවට මම ඔබ පත් කරන්නෙමි. 4මම ඔබ සමඟ ඊජිප්තුවට යන්නෙමි. මම නියතයෙන් ම ඔබ ආපසු ගෙනෙන්නෙමි. යෝසෙප්ගේ අත ම ඔබගේ නෙත් පියවනවා ඇතැ” යි පැවසූ සේක.
5ඉන්පසු යාකොබ් බෙයර්ෂෙබාවෙන් පිටත් විය. ඔහු ගෙන යෑමට පාරාවෝ විසින් එවා තිබූ ගැල්වලින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ තම පියා වූ යාකොබ් ද තම දරුවන් ද තම භාර්යාවන් ද ගෙන ගියහ. 6ඔවුහු තම සත්ව සම්පත් ද කානාන් දේශයේදී තමන් අත්කර ගත් වස්තු සම්පත් ද තමන් හා ගෙන ගියහ. මෙසේ ඔවුහු, යාකොබ් හා ඔහුගේ මුළු දරු පරපුර ඊජිප්තුවට පැමිණියහ. 7ඔහු තමා සමඟ තම පුතුන් හා මුනුපුරන් ද තම දූවරුන් හා මිනිපිරියන් ද යන තමාගේ මුළු දරු පරපුර ම ඊජිප්තුවට ගෙන ගියේ ය.
8ඊජිප්තුවට ගිය ඉශ්‍රායෙල් පුත්‍රයින් හෙවත් යාකොබ් හා ඔහුගේ දරු පරපුරේ නාම මෙසේ ය:
යාකොබ්ගේ කුලුඳුලා රූබෙන් ය.
9රූබෙන්ගේ පුත්‍රයෝ:
හනොක්, පල්ලු, හෙස්රොන් හා කර්මී ය.
10සිමියොන්ගේ පුත්‍රයෝ:
යෙමුවෙල්, යාමීන්, ඔහද්, යාකින්, සොහර් හා කානානි ස්ත්‍රියකගෙන් උපන් පුත් ෂාවුල් ය.
11ලෙවීගේ පුත්‍රයෝ:
ගෙර්ෂොන්, කොහාත් හා මෙරාරී ය.
12යූදාගේ පුත්‍රයෝ:
ඒර්, ඕනාන්, ෂේලා, පෙරෙස් හා සෙරා ය. එහෙත් ඒර් හා ඕනාන් කානාන් දේශයේදී මිය ගියහ.
පෙරෙස්ගේ පුත්‍රයෝ:
හෙස්රොන් හා හාමූල් ය.
13ඉස්සාකර්ගේ පුත්‍රයෝ:
තෝලා, පූවා, යෝබ් හා ෂිම්රෝන් ය.
14සාබුලොන්ගේ පුත්‍රයෝ:
සෙරෙද්, ඒලොන් හා යාලෙයෙල් ය.
15පදන්-අරාම්හි දී ලෙයා, යාකොබ්ට බිහි කර දුන් පුත්තු ඔවුහු ය. ඔහුගේ දියණිය දීනා ය. ඔහුගේ මෙම දූ පුතුන් සියල්ලෝ ගණනින් තිස්තුන් දෙනෙකි.
16ගාද්ගේ පුත්‍රයෝ:
සිෆියොන්, හග්ගී, ෂූනී, එස්බොන්, ඒරී, අරෝදී හා අර්යේලී ය.
17ආෂෙර්ගේ පුත්‍රයෝ:
ඉම්නා, ඉෂ්වා, ඉෂ්වී හා බෙරියා ය. ඔවුන්ගේ සොහොයුරිය සෙරා ය.
බෙරියාගේ පුත්‍රයෝ:
හෙබෙර් සහ මල්කියෙල් ය.
18ලාබාන් තම දියණිය වූ ලෙයාට සේවිකාවක කොට දෙන ලද සිල්පා, යාකොබ්ට බිහි කර දුන් දරුවන් වූ ඔවුන් සියල්ලෝ ගණනින් දහසය දෙනෙකි.
19යාකොබ්ගේ බිරිඳ වූ රාඛෙල්ගේ පුත්‍රයෝ:
යෝසෙප් හා බෙන්යමින් ය.
20ඕන්හි පූජක පෝතිෆෙරාගේ දියණිය වූ ආසෙනත්, ඊජිප්තුවේදී යෝසෙප්ට මනස්සේ හා එප්‍රායිම් බිහි කර දුන්නා ය.
21බෙන්යමින්ගේ පුත්‍රයෝ:
බෙලා, බෙකෙර්, අෂ්බෙල්, ගේරා, නාමාන්, ඒහී, රොෂ්, මුප්පීම්, හුප්පීම් හා අර්ද් ය.
22රාඛෙල්, යාකොබ්ට බිහි කර දුන් පුතුන් වූ ඔවුහු සියල්ලෝ ගණනින් දහහතර දෙනෙකි.
23දාන්ගේ පුත්‍රයා:
හුෂීම් ය.
24නෆ්තලීගේ පුත්‍රයෝ:
යාසෙයෙල්, ගුනී, යේසෙර් හා ෂිල්ලෙම් ය.
25ලාබාන් සිය දියණිය වූ රාඛෙල්ට සේවිකාවක වශයෙන් දෙන ලද බිල්හා, යාකොබ්ට බිහි කර දුන් පුතුන් වූ මොවුහු සියල්ලෝ ගණනින් හත් දෙනෙකි.
26යාකොබ්ගේ පුතුන්ගේ භාර්යාවන් හැර, යාකොබ් සමඟ ඊජිප්තුවට ගිය ඔහුගෙන් ම උපන් සියල්ලෝ ගණනින් හැටහය දෙනෙකි. 27ඊජිප්තුවේදී යෝසෙප්ට උපන් පුතුන් දෙදෙනා ද ඇතුළු ව ඊජිප්තුවට ගිය යාකොබ්ගේ පවුලේ සාමාජිකයින් සියල්ලෝ ගණනින් හැත්තෑ දෙනෙකි.
28ගෝෂෙන් වෙත යන මාර්ගය විමසමින්, යාකොබ් තමාට පෙරටුව යෝසෙප් වෙත යූදා පිටත් කර යැවී ය. ඔවුන් ගෝෂෙන් පළාතට ළඟා වූ කල, 29යෝසෙප් තම අශ්ව රථය සූදානම් කොට, තම පියා වූ ඉශ්‍රායෙල් හමුවට ගෝෂෙන් බලා ගියේ ය. යෝසෙප් තම පියා ඉදිරියට වන් කෙණෙහි තම දෑතින් ඔහුගේ ගෙල බදා, ඔහුගේ උර මත බොහෝ වේලාවක් හැඬී ය.
30එවිට ඉශ්‍රායෙල්, යෝසෙප් අමතමින්, “දැන් ඉතින් මට මැරෙන්නට පුළුවන. මන්ද මම ඔබගේ මුහුණ දැක, ඔබ තවමත් ජීවත් වන වග දැක බලා ගතිමි” යි කීවේ ය.
31ඉන්පසු යෝසෙප්, තම සහෝදරයින් ද තම පියාගේ පවුලේ අය ද අමතමින්, “පාරාවෝ අමතන්නට මා දැන් ඔහු වෙත ගොස්, ඔහුට කතා කොට, ‘කානාන් දේශයේ වෙසෙන මගේ සහෝදරයින් හා මගේ පියාගේ පවුලේ උදවිය මා වෙත ඇවිදින් ඉන්නවා. 32ඒ මිනිස්සු එඬේරු. සතුන් ඇති කරන්නන්. ඔවුන් තම එළු බැටළු රංචු ද ගව රංචු ද ඔවුන් සතු හැම දේ ද තමන් සමඟ ගෙනවුත් ඇතැ’ යි කියන්නෙමි. 33පාරාවෝ ඔබට අඬගසා, ‘ඔබගේ රැකියාව කුමක් දැ?’ යි ඇසූ කල, ඔබ පිළිතුරු දෙමින්, 34‘ඔබගේ සේවකයින් වන අප, අපේ පියවරුන් කළාක් මෙන් බාල වයසේ පටන් සතුන් ඇති කරන අය ය’ කියා කිව යුතුයි. එවිට ගෝෂෙන් පළාතේ පදිංචි වීමට ඔබට හැකි වෙයි. මන්ද ඊජිප්තුවරුනට සියලු එඬේරුන් පිළිකුල් යැ” යි කීවේ ය.

موجودہ انتخاب:

උත්පත්ති 46: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in