උත්පත්ති 45

45
යෝසෙප් තමා හඳුන්වාදීම
1එවිට යෝසෙප් තමා හා සිටි තම පිරිවර ඉදිරියේ තමා පාලනය කර ගත නො හැකි ව, “හැම කෙනෙක් ම මා ඉදිරියෙන් ඉවත් වනු!” යි මොර ගසා කීවේ ය. මෙසේ, තම සහෝදරයනට යෝසෙප් තමා හඳුන්වා දෙන විට, ඔහු සමඟ වෙන කිසිවකු නො වී ය. 2ඔහු කොතරම් හඬ නගා හැඬුවේ ද යත්, ඔහු හඬනු ඊජිප්තුවරුනට ඇසිණි. පාරාවෝගේ ගෘහවාසීනට ද එය ඇසිණි.
3යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “මම යෝසෙප් වෙමි! මගේ පියා තවමත් ජීවත් වෙනවා දැ?” යි ඇසී ය. එහෙත් ඔහුගේ සහෝදරයෝ, ඔහු ඉදිරියෙහි තැති ගෙන, ඔහුට පිළිතුරක් දී ගත නො හැකි ව තූෂ්ණීම්භූත ව සිටියෝ ය.
4ඉන්පසු යෝසෙප් තම සහෝදරයින් අමතමින්, “එන්න මා ළඟට” යි කීවේ ය. ඔවුන් ළං වූ කල, ඔහු ඔවුන් අමතමින්, “ඔබ ඊජිප්තුවට විකුණූ ඔබේ සහෝදර යෝසෙප් මමයි. 5මෙහාට මා විකිණීම ගැන දැන් සංතාප වන්න එපා; තමන් ගැන ම කෝප වන්නත් එපා. මන්ද ජීවිත සුරකින පිණිස, ඔබට පෙරටුව මා මෙහි එවා ඇත්තේ දෙවියන්වහන්සේයි. 6දැන් අවුරුදු දෙකක පටන් දේශයේ සාගතය පවතී. සී සෑමක්, අස්වනු නෙළීමක් නැති තවත් පස් අවුරුද්දක් වෙයි. 7එහෙත් දෙවියන්වහන්සේ ඔබට පෙරටුව මා එවුවේ, මේ මිහි පිට ඔබට ඉතිරි ස්වල්ප දෙනකු ආරක්ෂා කර දෙන පිණිසත්, ඉමහත් ගැලවීමකින් ඔබේ ජීවිත සුරකින පිණිසත් ය.
8“එබැවින් මෙහි මා එවුවේ ඔබ නො වෙයි; දෙවියන්වහන්සේයි. උන්වහන්සේ මා පාරාවෝට පියකු ද ඔහුගේ ගෘහවාසී හැමට ස්වාමියා ද මුළු ඊජිප්තු දේශයට පාලකයා ද කොට පත් කළ සේක. 9දැන් හනික මා පියා වෙත ආපසු ගොස්, ඔහුට මෙසේ කියන්න, ‘ඔබගේ පුත්‍ර යෝසෙප් මෙසේ කියයි; දෙවියන්වහන්සේ මා මුළු මහත් ඊජිප්තුවට ම ස්වාමියා කර ඇත. මා වෙත මෙහි එන්න. පමා නො වන්න. 10ඔබ ගෝෂෙන් පළාතේ වෙසෙමින්, මා කිට්ටුවෙන් සිටිනු ඇත. ඔබත්, ඔබේ දරුවනුත්, ඔබේ දරුවන්ගේ දරුවනුත්, ඔබගේ එළු බැටළු රංචු හා ගව රංචුත්, ඔබට ඇති සියල්ලත් සමඟ වසනු ඇත. 11එහිදී මම ඔබ රක්ෂා කරන්නෙමි. එසේ නො වුවහොත් ඔබත්, ඔබගේ ගෘහ වාසීන් හා ඔබට අයත් සියල්ලත් අනාථ වී යනු ඇත. මන්ද ඉදිරියට සාගතයේ තවත් අවුරුදු පහක් තිබේ.’
12“මේ ඔබට කතා කරන්නේ සැබවින් ම මා වග ඔබටත්, මා සහෝදර බෙන්යමින්ටත් පෙනේ. 13ඊජිප්තුවේදී මා ලබන සියලු ගරු බුහුමන් ගැනත්, ඔබ දුටු හැම දෙයක් ම ගැනත් මගේ පියාට පවසන්න. හනික, මගේ පියා මෙහි කැඳවාගෙන එන්නැ” යි කීවේ ය.
14ඉන්පසු, තම සහෝදර බෙන්යමින්ගේ ගෙල වටා දෑත් යවා, ඔහු බදාගත් ඔහු, හඬන්නට වන්නේ ය. බෙන්යමින් ද ඔහු වැලඳ හැඬී ය. 15අනතුරුව ඔහු තම සහෝදරයන් හැම සිප, ඔවුන් වැලඳ හැඬී ය. පසුව ඔහුගේ සහෝදරයෝ ඔහු සමඟ කතා කරන්නට වන්හ.
16යෝසෙප්ගේ සහෝදරයින් පැමිණ ඇතැයි යන පුවත පාරාවෝගේ මන්දිරයට සැල වූ කල, පාරාවෝ හා ඔහුගේ සියලු නිලධාරීහු සතුටට පත් වූහ. 17පාරාවෝ යෝසෙප් අමතා, “ඔබේ සහෝදරයින්ට මෙසේ කියන්න: ‘මෙසේ කරන්න: ඔබේ සතුන් පිට බඩු පටවා, කානාන් දේශයට ආපසු ගොස්, 18ඔබේ පියා ද ඔබේ දරු පවුල් ද මා වෙත කැඳවාගෙන එන්න. ඊජිප්තු දේශයේ හොඳ ම දේ මම ඔබට දෙන්නෙමි. එවිට දේශයේ සාරය භුක්ති විඳීමට ඔබට පුළුවනි.’
19“ඔබ ඔවුන්ට මෙසේ ද අණ කළ යුතුයි, ‘මෙසේ කරන්න: ඔබගේ පොඩි දරුවන් හා භාර්යාවන් සඳහා ඊජිප්තුවෙන් ගැල් ගෙන ගොස්, ඔබේ පියා කැඳවාගෙන එන්න. 20ඔබ සන්තක බඩු බාහිරාදිය ගැන කරදර නො වන්න. මුළු ඊජිප්තුවේ ඇති හොඳ ම දෑ ඔබට වන්නේ ය’ කියා කියන්නැ” යි කීවේ ය.
21ඉශ්‍රායෙල්ගේ පුත්‍රයෝ එලෙස කළෝ ය. පාරාවෝ අණ කළ පරිදි, යෝසෙප් ඔවුන්ට ගැල් සැපයී ය. ඔවුන්ගේ ගමනට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය ද ඔහු ඔවුනට සැපයී ය. 22ඒ හැම කෙනකුට ම ඔහු ඇඳුම් කට්ටලය බැගින් දුන්නේ ය. එහෙත් බෙන්යමින්ට ෂෙකෙල් තුන්සියයක බරට රිදී හා ඇඳුම් කට්ටල පහක් දුන්නේ ය. 23ඔහු තම පියාට යැවූ දෑ මේවා ය. ඊජිප්තුවේ හොඳ ම දෑ පැට වූ බූරුවන් දස දෙනකු හා ඔහුගේ ගමනට අවැසි ධාන්‍ය ද ආහාර ද අනිකුත් කළමනා ද රැගත් බූරු දෙනුන් දස දෙනෙකි. 24මෙසේ ඔහු තම සහෝදරයින් පිටත් කර හැරියේ ය. ඔවුන් වෙතින් මෑත් වෙද්දී, ඔහු ඔවුන් අමතමින්, “අතර මගදී දබර නො කරන්නට වග බලා ගන්නැ” යි කීවේ ය.
25මෙසේ ඊජිප්තුවෙන් පිටතට ගමන් ගත් ඔවුහු කානාන් දේශයේ තම පියා වූ යාකොබ් වෙත පැමිණියහ. 26ඔවුහු ඔහු අමතමින්, “යෝසෙප් තවමත් ජීවත් ව ඉන්නවා! මුළු ඊජිප්තු දේශයට ම පාලකයා ඔහුයි” කීහ. ඔහු විස්මයෙන් වික්ෂිප්ත විය. ඔහු ඔවුන් විශ්වාස කළේ නැත. 27එහෙත් යෝසෙප් ඔවුනට පවසා තිබූ සියල්ල ඔවුන් ඔහුට පැවසූ පසු, ඔහු කැඳවාගෙන යෑමට යෝසෙප් එවා තිබූ ගැල් දුටු පසු, ඔවුන්ගේ පියා වූ යාකොබ්ගේ ආත්මය අලුතින් පිබිදිණි. 28එවිට ඉශ්‍රායෙල්, “මට ඒ ඇති. මා පුත් යෝසෙප් තවමත් ජීවත් වෙයි. මා මිය යන්නට කලින් මම ගොස්, ඔහු දැක ගන්නෙමි” යි කීවේ ය.

موجودہ انتخاب:

උත්පත්ති 45: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in