උත්පත්ති 40

40
කුසලාන දරන්නා හා රොටි සාදන්නා
1මින් කලකට පසු, ඊජිප්තු රජුගේ කුසලාන දරන්නා හා රොටි සාදන්නා ඔවුන්ගේ ස්වාමියා වූ ඊජිප්තු රජුට විරුද්ධ ව වැරදි කළහ. 2ප්‍රධාන කුසලාන දරන්නා හා ප්‍රධාන රොටි සාදන්නා වූ තම නිලධාරීන් දෙදෙනා ගැන කෝප වූ පාරාවෝ, 3යෝසෙප් සිරගත ව සිටි ස්ථානය වූ ආරක්ෂක සෙන්පතිගේ නිවසේ ඔවුන් සිරකර තැබී ය. 4ආරක්ෂක සෙන්පතියා යෝසෙප්ට ඔවුන් බාර කළේ ය. ඔහු ඔවුනට උපස්ථාන කළේ ය.
ඔවුහු මද කලක් සිර බාරයේ සිටි පසු, 5සිරගත කරනු ලැබ සිටි ඊජිප්තු රජුගේ කුසලාන දරන්නා හා රොටි සාදන්නා යන දෙදෙනා, එක ම රැයක සිහිනය බැගින් දුටුවහ. ඒ එක් එක් සිහිනයට, ඊට අදාළ අරුතක් තිබිණි.
6පසු දින උදෑසන යෝසෙප් ඔවුන් වෙත පැමිණ, බැලූ කල, ඔවුන් කනස්සලුව සිටිනු දුටුවේ ය. 7එබැවින් ඔහු, තම ස්වාමියාගේ නිවසේ තමා සමඟ සිරගත ව හුන් පාරාවෝගේ එම නිලධාරීන් අමතමින්, “අද ඔබගේ මුහුණු ඔතරම් දුක්මුසු ව ඇත්තේ මන්දැ?” යි ඇසී ය.
8ඔවුහු ඔහුට පිළිතුරු දෙමින්, “අප දෙදෙනා සිහිනයක් දැක්කා. ඒත් ඒවායේ අරුත් පහදා දෙන්නට කිසිවකු නෑ” යි කීහ.
එවිට යෝසෙප් ඔවුන් අමතමින්, “අරුත් පහදා දීම දෙවියන්වහන්සේ සතු කාරියක් නො වේ ද? හොඳයි, ඔබේ සිහින මට කියන්නැ” යි කීවේ ය.
9එවිට ප්‍රධාන කුසලාන දරන්නා තම සිහිනය යෝසෙප්ට පවසමින්, “මගේ සිහිනයේදී මා ඉදිරියේ වූ මිදි වැලක් දැක්කා. 10මිදි වැලේ අතු තුනක් තිබුණා. එය දළු දැමූ විගස, එහි මල් හට ගැනුණා. මිදි පොකුරු මෝරා ඉදුණා. 11පාරාවෝගේ කුසලාන මා අතේ තිබුණා. මා, මිදි පල ගෙන, පාරාවෝගේ කුසලානට ඒවා මිරිකා, කුසලාන පාරාවෝගේ අතේ තැබුවා” යි කීවේ ය.
12එවිට යෝසෙප් ඔහු අමතමින්, “එහි අරුත මෙයයි. ඒ අතු තුන දවස් තුනක්; 13තුන් දවසක් ඇතුළත පාරාවෝ ඔබට හිස ඔසවන්නට සලසා, ඔබේ නිලයට යළි ඔබ පත් කරනු ඇත. ඔහුගේ කුසලාන දරන්නා ව සිටියදී, ඔබ කළ පරිදි ඔබ පාරාවෝගේ කුසලාන ඔහුගේ අතේ තබනු ඇත. 14මෙසේ ඔබට සෙත සැලසුණු කල, මා සිහි කර, මට කරුණාව දක්වමින්, පාරාවෝට මා ගැන මතක් කර, මේ සිර ගෙයින් මා එළියට ගන්න. 15මන්ද හෙබ්‍රෙව්වරුන්ගේ දේශයේ සිට මා මෙහි ගෙන එන ලද්දේ බලහත්කාරයෙනි. මෙසේ දඟ ගෙයි දමනු ලැබීමට තරම් කිසිවක් ද මා කර නැතැ” යි කීවේ ය.
16යෝසෙප්ගේ අර්ථ විවරණය සතුටුදායක බැව් දුටු ප්‍රධාන රොටි සාදන්නා, යෝසෙප් අමතමින්, “මාත් සිහිනයක් දැක්කා. මගේ හිසේ රොටි කූඩ තුනක් තිබුණා. 17උඩ ම කූඩයේ වූයේ පාරාවෝ සඳහා වූ සියලු වර්ගවල පිලිස්සූ කැවිලියි. කුරුල්ලෝ, මගේ හිස මත වූ කූඩයෙන් ඒවා කමින් සිටියා” යි කීවේ ය.
18එවිට යෝසෙප් පිළිතුරු දෙමින්, “එහි අරුත මෙයයි; ඒ කූඩ තුන දවස් තුනක්. 19දවස් තුනක් ඇතුළත පාරාවෝ ඔබේ හිස, ඔබ වෙතින් ඔසවා, ගසක ඔබ එල්ලා දමනු ඇත. කුරුල්ලන් ඔබේ මාංස කා දමනු ඇතැ” යි කීවේ ය.
20තුන් වන දවස පාරාවෝගේ උපන් දවස විය. ඔහු තමාගේ සියලු සේවකයනට සාදයක් පැවැත්වී ය. ඔහු තම නිලධාරීන් ඉදිරිපිට ප්‍රධාන කුසලාන දරන්නාගේ ද ප්‍රධාන රොටි සාදන්නාගේ ද හිස් එසවී ය: 21ඔහු ප්‍රධාන කුසලාන දරන්නා යළි ඔහුගේ නිලයට පත් කළෙන්, නැවතත් ඔහු, පාරාවෝගේ අතට කුසලාන දුන්නේ ය. 22එහෙත් යෝසෙප් ඔවුන්ට සිහින අරුත් පහදා දුන් පරිදි, ඔහු ප්‍රධාන රොටි සාදන්නා එල්ලා දැමී ය.
23කෙසේ වුව ද ප්‍රධාන කුසලාන දරන්නාට යෝසෙප් සිහි වූයේ නැත. හෙතෙම ඔහු අමතක කර දැමී ය.

موجودہ انتخاب:

උත්පත්ති 40: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in