නික්මයාම 38
38
දවන යාග පූජාසනය
1ඔහු දවන යාග පූජාසනය, අකේෂියා ලීයෙන් තැනී ය. එය දිගින් රියන් පහක් ද පළලින් රියන් පහක් ද වන සමචතුරස්‍රාකාර වූ රියන් තුනක් උස එකකි. 2උඩට නෙරා සිටින සේ එහි හතර කොනේ, ඔහු එහි අං සෑදුවේ, එම අං පූජාසනය සමඟ තනි නිර්මාණයක් වන පරිදි ය. ඔහු පූජාසනය, ලෝකඩයෙන් වැසී ය. 3ඔහු එහි සියලු උපකරණ වන අළු ඉවත් කරන බඳුන්, හැඳි, ඉසින පාත්‍ර, මස් කොකු, ගිනි කබල් යන දෑ ලෝකඩින් සෑදී ය. 4පූජාසනයේ උසින් අඩක් වන තරම් පූජාසන ගැටිය යට පිහිටු වන ගිනි මැස්ස, ඔහු ලෝකඩ දැලකින් සෑදී ය. 5පොලු රඳවන පිණිස, ඔහු ලෝකඩ ගිනි මැස්සේ හතර කොනේ, ලෝකඩ වළලු හතරක් වාත්තු කළේ ය. 6ඔහු අකේෂියා ලීයෙන් පොලු සාදා, ඒවා ලෝකඩයෙන් වැසී ය. 7පූජාසනය ඔසවාගෙන යෑමට එම පොලු එහි දෙපස රඳවා තිබෙනු පිණිස, ඔහු ඒවා වළලුවල රුවා තැබී ය. පූජාසනය කුහර ව සිටින සේ ඔහු ලෑලිවලින් එය සෑදී ය.
සේදීමේ වතුර බේසම
8තවද ඔහු ලෝකඩින් වතුර බේසම ද එහි ලෝකඩ අඩිය ද සෑදුවේ, හමුවීමේ කූඩාරම් පිවිසුමේ මෙහෙ කරන කාන්තාවන්ගේ කැඩපත්වලිනි.
කූඩාරම් මළුව
9ඊළඟට ඔහු කූඩාරම් මළුව සෑදී ය. එහි දකුණු පැත්තේ දිග රියන් සියයකි. ඊට සියුම් ව වියන ලද හණ පිළියෙන් කළ තිර ද 10කණු විස්සක් ද ලෝකඩ පාද තල විස්සක් ද කණුවල රිදී කොකු හා පටි ද විය. 11එහි උතුරු පැත්ත ද දිගින් රියන් සියයකි. ඊට කණු විස්සක් ද ලෝකඩ පාද තල විස්සක් ද කණුවල රිදී කොකු හා පටි ද විය.
12එහි බටහිර පැත්ත පළලින් රියන් පනහකි. ඊට තිර ද කණු දහයක් හා පාද තල දහයක් ද කණුවල රිදී කොකු හා පටි ද විය. 13හිරු නැගෙන දිසාව වන නැගෙනහිර පැත්ත ද පළලින් රියන් පනහකි. 14පිවිසුමේ එක් පැත්තකට රියන් පහළොවක් දිග තිර ද කණු තුනක් හා පාද තල තුනක් ද 15කූඩාරම් මළුවට පිවිසුමේ අනෙක් පැත්තට රියන් පහළොවක් දිග තිර ද කණු තුනක් හා පාද තල තුනක් ද විය. 16මළුව වටා වූ සියලු තිර, සියුම් ව වියන ලද හණ පිළියෙන් නිමැවිණ. 17කණු සඳහා පාද තල, ලෝකඩ ය. කණුවල කොකු හා පටි රිදී ය. කණු-මුඳුන් රිදීයෙන් වසා තිබූ අතර මළුවේ වූ සියලු කණුවල රිදී පටි විය.
18මළුවේ පිවිසුම් දොරටු තිරය, නිල්, දම් හා තද රත් පැහැති නූලෙන් ද සියුම් ව ගොතන ලද හණ පිළියෙන් ද කළ ගෙත්තම් ශිල්පීය නිමැවුමකි. එය රියන් විස්සක් දිග ය. මළුවේ තිර පරිදි රියන් පහක් උස ය. 19ඒවායේ කණු ගණනින් සතරකි. ඒවාට ලෝකඩ පාද තල සතරකි. ඒවායේ කොකු හා පටි රිදී ය. කණු මුඳුනත් රිදීයෙන් වැසිණ. 20මණ්ඩපයේ ද ඒ වටා වූ මළුවේ කූඤ්ඤ සියල්ල ද ලෝකඩ ඒවා ය.
භාවිත කළ ලෝහ ප්‍රමාණය
21මණ්ඩපය හෙවත් සාක්ෂි මණ්ඩපය#38:21 සාක්ෂි ගල්ලෑලි තබා ඇති මණ්ඩපය සඳහා ගන්නා ලද ලෝහ ප්‍රමාණය මෝසෙස්ගේ අණ පිට, පූජක ආරොන්ගේ පුත් ඊතාමර් යටතේ, ලෙවීවරුන් විසින් මෙසේ සටහන් තබන ලදී. 22යූදා ගෝත්‍ර වංශික හූර්ගේ පුත් ඌරීගේ පුත්‍ර බෙසලෙල්, ස්වාමින්වහන්සේ මෝසෙස්ට අණ කළ හැම දෙයක් ම සෑදී ය. 23ඔහු සමඟ දාන් ගෝත්‍ර වංශික අහිසාමක්ගේ පුත් ඔහොලියාබ් විය. ඔහු කැටයම් ශිල්පියකු ද නිර්මාණ ශිල්පියකු ද නිල්, දම් හා රත් පැහැ නූල් හා සියුම් හණ පිළි ගෙත්තම් වැඩ ශිල්පියකු ද වෙයි. 24ශුද්ධස්ථානයේ වැඩ සියල්ල සඳහා යොදා ගැනුණු තේව කිරීමේ පූජා පඬුරු වශයෙන් ලද මුළු රත්රන් ප්‍රමාණය ශුද්ධස්ථානයේ සම්මත මිනුමට අනුව තලෙන්ත#38:24 කිලෝග්‍රෑම් 34ක් පමණ විසිනවයක් හා ෂෙකෙල් හත්සිය තිහකි.
25සංගණනයේදී ගණන් ගනු ලැබූ ජන සමූහයාගෙන් ලබා ගත් රිදී ප්‍රමාණය, ශුද්ධස්ථානයේ සම්මත මිණුමට අනුව, තලෙන්ත සියයක් හා ෂෙකෙල් එක්දහස් හත්සිය හැත්තෑපහකි. 26එසේ ලද්දේ එක්කෙනකුගෙන් බෙකා එකක් බැගිනි. එය, ශුද්ධස්ථානයේ සම්මත මිම්මට අනුව ෂෙකෙල් භාගයකි. විසි වියැති හෝ ඊට වැඩි වයස් වූ ගණන් ගනු ලැබූ මිනිසුන් ගණන හයලක්ෂ තුන්දහස් පන්සිය පනහකි. 27රිදී තලෙන්ත සියය, ශුද්ධස්ථානයේ පාද තල හා තිරවලට පාද තල උදෙසා යොදා ගැනිණ. පාද තල සියයට තලෙන්ත සියයකි. එක් පාද තලයකට එක් තලෙන්තයකි. 28ඔහු රිදී ෂෙකෙල් එක්දහස් හත්සිය හැත්තෑ පහ, කණුවල කොකු සෑදීමටත්, කණු මුඳුනත රිදීයෙන් වැසීමටත්, ඒවායේ පටි සෑදීමටත් යෙදී ය.
29තේව කිරීමේ පූජා පඬුරු වශයෙන් ඔප්පු කරන ලද ලෝකඩ ප්‍රමාණය, තලෙන්ත හැත්තෑවක් හා ෂෙකෙල් දෙදහස් හාරසියයකි. 30ඔහු ඒවා හමුවීමේ කූඩාරම් පිවිසුමේ පාද තල ද ලෝකඩ ගිනි දැල සහිත ලෝකඩ පූජාසනය ද එහි සියලු උපකරණ ද 31මළුව වටා හා මළුවට පිවිසුමේ පාද තල ද මණ්ඩපයේ සියලු කූඤ්ඤ ද ඒ වටා වූ මළුවේ කූඤ්ඤ ද සෑදීමට යෙදී ය.
موجودہ انتخاب:
නික්මයාම 38: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.