ද්විතීය 28
28
කීකරුවීමේ ආශිර්වාද
1ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට විශ්වාසවන්ත ව ඔබ කීකරු වී, අද මා ඔබට ආඥා කරන උන්වහන්සේගේ ආඥා සියල්ල ඕනෑකමින් පිළිපදින්නේ නම්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ මිහි පිට අන් සියලු ජාතීන්ට වඩා ඉහළින් ඔබ හිඳුවන සේක. 2ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු වන්නේ නම්, මේ සියලු ආශිර්වාද ඔබ කරා පැමිණ, ඔබ සමඟ පැවත සිටිනු ඇත.
3නගරයේදී ඔබ ආශිර්වාද ලබන්නේ ය; ගමේදීත් ඔබ ආශිර්වාද ලබන්නේ ය.
4ඔබේ ගර්භයේ පලය ද ඔබේ භූමියේ අස්වැන්න ද ඔබේ ගව සම්පතේ පලය ද සත්ව රංචුවල වැඩිවීම ද එළු බැටළු රැළේ පැටවුන් ද ආශිර්වාද ලබන්නේ ය.
5ඔබේ බඩු මල්ල ද ඔබ පිටි අනන බඳුන ද ආශිර්වාද ලබන්නේ ය.
6ඇතුළට එන විට ඔබ ආශිර්වාද ලබන්නේ ය; පිටතට යන විට ද ඔබ ආශිර්වාද ලබන්නේ ය.
7ඔබට එරෙහිව නැගී සිටින සතුරන් ඔබ ඉදිරියෙහි පරාජය වීමට ස්වාමින්වහන්සේ සලස්වන සේක. ඔවුන් එක් දිසාවකින් ඔබ වෙත පැමිණ, හත් දිසාවකින් ඔබ වෙතින් පලා යනු ඇත.
8ඔබේ අටු-කොටුවලට ද ඔබ අත තබන හැම දේට ම ද ස්වාමින්වහන්සේ ආශිර්වාදයක් එවන සේක. උන්වහන්සේ ඔබට දෙන දේශයේ ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක.
9ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥා ඔබ පිළිපදිමින්, උන්වහන්සේගේ මාර්ගවල ගමන් ගන්නේ නම්, ස්වාමින්වහන්සේ ඔබට දිවුරා පොරොන්දු වූ පරිදි, ස්වකීය ශුද්ධ ජනතාව කොට ඔබ පිහිටු වන සේක. 10එවිට ස්වාමින්වහන්සේගේ නාමයෙන් ඔබ අමතනු ලබන වග දකින මිහි පිට වෙසෙන සියලු ජනතාවෝ ඔබට භය වන්නෝ ය. 11ඔබට දෙන්නෙමැයි ස්වාමින්වහන්සේ ඔබේ පියවරුන්ට දිවුළ දේශයේදී ඔබේ ගර්භයේ පලයටත්, ඔබගේ සත්ව රංචුවල පැටවුනටත්, ඔබේ භූමියේ පලදාවටත් ස්වාමින්වහන්සේ ඔබට විපුල සඵලත්වයක් දානය කරන සේක.
12නිසි කලට ඔබේ දේශයට වැසි එවන පිණිසත්, ඔබේ අත්වල හැම වැඩකට ම ආශිර්වාද කරන පිණිසත්, ස්වාමින්වහන්සේ තම ඉසුරුමත් ගබඩාව වන අහස විවර කරන සේක. බොහෝ ජාතීනට ඔබ ණයට දෙන නමුත්, කිසිවකුගෙන් ඔබ ණය ගන්නේ නැත. 13ස්වාමින්වහන්සේ ඔබ වලිගය නො ව, හිස බවට පත් කරන සේක. ඔබ නිරතුරු ව ඉහළින් සිටිනු ඇත. කිසි දින පහළට නො යනු ඇත. එසේ වන්නේ අද මා ඔබට අණ කරන ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ ආඥාවනට අවධානය යොමා, ඕනෑකමින් ඒවා පිළිපදින්නේ නම් හා 14මා අද ඔබට ආඥා කරන වචනවලින් කිසි ලෙසකින්වත් දකුණට හෝ වමට හෝ නො හැරී, වෙනත් දෙවිවරුන් පසු පස නො යමින්, ඔවුනට සේවය කිරීමට නො යෑමෙන් ය.
අකීකරුවීමේ ශාප
15එනමුත් ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට ඔබ කීකරු නො වී, මා අද ඔබට ආඥා කරන උන්වහන්සේගේ සියලු ආඥා හා නියෝග ඕනෑකමින් ඔබ පිළිපදින්නේ නැති නම්, මේ සියලු ශාප ඔබ කරා පැමිණ, ඔබ ග්‍රහණය කර ගනු ඇත.
16නගරයේදී ඔබ ශාප ලබන්නේ ය; ගමේදීත් ඔබ ශාප ලබන්නේ ය.
17ඔබේ බඩු මල්ල ද ඔබ පිටි අනන බඳුන ද ශාප ලබන්නේ ය.
18ඔබේ ගර්භයේ පලය ද ඔබේ භූමියේ අස්වැන්න ද ඔබේ සත්ව රංචුවල වැඩිවීම ද එළු බැටළු රැළේ පැටවුන් ද ශාප ලබන්නේ ය.
19ඇතුළට එන විට ඔබ ශාප ලබන්නේ ය; පිටතට යන විට ද ශාප ලබන්නේ ය.
20ඔබ මා අතැර දැමීමෙන් ඔබ කළ දුෂ්ටකම නිසා, ඔබ නැති නාස්ති වී, හදිසි විනාශයකට පත් වන තුරු, ඔබ අත ගසන හැම දේකදී ම ස්වාමින්වහන්සේ ඔබට ශාප ද වියවුල් ද තරවටු ද එවන සේක. 21අත්පත් කර ගැනීමට ඔබ ඇතුළු වන දේශයෙන් ඔබ වැනසී යන තෙක්, ස්වාමින්වහන්සේ වසංගතයෙන් ඔබ වටකරවන සේක. 22ඔබ විනාශ වී යන තුරු, ක්ෂය කරවන රෝග, උණ, ඉදිමුම සහිත දැවිල්ල, දැඩි උෂ්ණය හා නියඟය ද ගස්වැල්හි කොළ-රෝගය හා පුස් රෝගය ද යන ව්‍යසනවලින් ස්වාමින්වහන්සේ ඔබට පහර දෙන සේක. 23ඔබේ හිසට ඉහළින් අහස, ලෝකඩ ද ඔබට පහළින් පොළොව, යකඩ ද වනු ඇත. 24ඔබේ රටේ වැස්ස, ස්වාමින්වහන්සේ වැලි-දූලි බවට පෙරළනු ඇත. ඔබ විනාශ වී යන තෙක් ඒවා අහසින් පහළට පතිත වනු ඇත.
25 ස්වාමින්වහන්සේ ඔබේ සතුරන් ඉදිරියේ ඔබ පරාජය වන්නට සලසන සේක. ඔබ එක් දිසාවකින් ඔවුන් වෙත ගොස්, හත් දිසාවකින් ඔවුන් වෙතින් පලා දුවනු ඇත. මිහි පිට සියලු රාජ්‍යයන්ට ඔබ භීතියට හේතුවක් වනු ඇත. 26ඔබගේ මළමිනි, අහසේ සියලු පක්ෂීන්ටත්, පොළොවේ මෘගයින්ටත් ආහාර වනු ඇත. බියගන්වා උන් එලවන්නට කිසිවකුත් නො එනු ඇත. 27ඔබට සුව කර ගත නො හැකි ඊජිප්තු ගඩු ද වණ පිළිකා ද දද හා හොරි ද යන පීඩාවලින් ස්වාමින්වහන්සේ ඔබට පහර දෙන සේක. 28උමතු භාවය, අන්ධභාවය හා සිහිවිකලය යන දෙයින් ස්වාමින්වහන්සේ ඔබට පහර දෙන සේක. 29අන්ධයකු අඳුරේ අතපත ගාන්නාක් මෙන්, මද්දහනේදී ඔබ අතපත ගාමින් යනු ඇත. කරන හැම කාරියකදී ම ඔබ අසාර්ථක වන්නේ ය. දවසින් දවස ඔබ පීඩාවටත්, කොල්ලකෑමටත් ගොදුරු වනු ඇත. ඔබ මුදන්නට කිසිවකුත් නො වන්නේ ය.
30කාන්තාවක සමඟ ඔබ විවා ගිවිස ගන්නා නමුත්, අන් කෙනකු ඇය දූෂ්‍ය කරනු ඇත. ඔබ ගෙයක් ගොඩ නගන නමුත්, ඔබ එහි පදිංචි වන්නේ නැත. ඔබ මිදි වත්තක් වවන නමුත්, එහි පල භුක්ති විඳින්නට ඔබට ඉඩ ලැබෙන්නේ නැත. 31ඔබේ ඇස් ඉදිරිපිටදී ම ඔබේ ගවයා මරනු ලබන නමුත්, ඉන් කිසිවක් හෝ ඔබට බුදින්නට ලැබෙන්නේ නැත. ඔබේ බූරුවා ඔබ වෙතින් බලෙන් පැහැර ගනු ලැබේ. ඔබට ආපසු ඌ ලැබෙන්නේ නැත. ඔබේ බැටළුවෝ ඔබේ සතුරනට දෙනු ලබන්නාහ. කිසිවකු හෝ උන් මුදා ගන්නේ නැත. 32ඔබගේ දූ පුතුන් වෙනත් ජාතියකට දෙනු ලබන අතර, අතක් එසවීමට හෝ බලයක් නැතිව දවසින් දවස ඔවුන් දෙස බලා සිටීමෙන් ඔබගේ ඇස් පිරිහී යනු ඇත. 33ඔබේ දේශයේ හා ඔබේ ශ්‍රමයේ පල, ඔබ නො දන්නා ජාතියක් භුක්ති විඳිනු ඇත. කුරිරු පීඩනය හැර, ඔබේ මුළු ජීවිතයට ම වෙන කිසිවක් ලැබෙන්නේ නැත. 34ඔබ දකින දසුන් ඔබ උමතු කරවනු ඇත. 35ඔබේ යටි පතුලේ සිට හිස් මුදුන දක්වා පැතිර යන සුව කළ නො හැකි පීඩාකාරී ගඩු, ඔබේ දණහිස් හා කකුල්වල හට ගැන්වීමෙන්, ස්වාමින්වහන්සේ ඔබට පහර දෙනු ඇත.
36ඔබ හෝ ඔබේ පියවරුන් හෝ නො දැන සිටි අන් ජාතියක් වෙතට ස්වාමින්වහන්සේ ඔබත්, ඔබ පත් කර ගන්නා ඔබේ රජුත් පලවා හරින සේක. එහිදී ඔබ, ලීයෙන් සහ ගලින් තැනූ දෙවිවරුන් නමදිනු ඇත. 37ස්වාමින්වහන්සේ ඔබ පලවා හරිනු ලබන සියලු ජාතීන් අතරෙහි ඔබ භීතියට හේතුවක් ද සමච්චලයට හා අවමානයට ඉලක්කයක් ද වනු ඇත.
38ඔබ බොහෝ සෙයින් බීජ ගෙන, කුඹුරට යන නමුත්, අස්වනු නෙළාගන්නේ ස්වල්පයකි. මන්ද පළඟැටි ඒවා කා දමති. 39ඔබ මිදි වතු වවා, ඒවාට සාත්තු කරන නමුත්, මිදි යුෂ බොන්නට හෝ මිදි පල රැස් කර ගන්නට ඔබට ලැබෙන්නේ නැත. පණුවන් ඒවා කා දමති. 40ඔබේ දේශය පුරා ඔලීව ගස් තිබෙන නමුත්, ඔලීව තෙල් පාවිච්චියට ගන්නට ඔබට ලැබෙන්නේ නැත. හට ගන්න පල අකලට හැලේ. 41ඔබට පුතුන් ද දූවරුන් ද ලැබෙනු ඇති නමුදු ඔවුන් ඔබ වෙත තබා ගන්නට ඔබට ඉඩ ලැබෙන්නේ නැත. ඔවුහු වහල්කමට ගෙන යනු ලබන්නෝ ය. 42ඔබගේ ගහ කොළ සියල්ල හා ඔබේ බිමේ පලදාව පළඟැටි කා දමන්නේ ය.
43ඔබ අතරේ වෙසෙන විදෙස්සා ඔබට වඩා ඉහළින් ඉහළට නැගෙන්නේ ය. එහෙත් ඔබ පහළින් පහළට කිඳා බසිනු ඇත. 44ඔහු ඔබට ණය දෙනු ඇත; එහෙත් ඔහුට ණයක් දීමට කිසිවක් ඔබට නැත. ඔහු, හිස වනු ඇත. ඔබ වලිගය වෙයි.
45ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ කටහඬට ඔබ කීකරු නො වූ බැවින්, උන්වහන්සේ ඔබට ආඥා කළ ආඥා හා නියෝග ඔබ පිළිපැද්දේ නැති බැවින්, මේ සියලු ශාප ඔබ මත පතිත වනු ඇත. ඒවා ඔබ ලුහුබැඳ අවුත්, ඔබ විනාශ වී යන තුරා, ඔබ අල්ලා සිටිනු ඇත. 46ඒවා ඔබටත්, ඔබෙන් පැවත එන්නන්ටත් සදාතනික ව ලකුණක් ද අරුමයක් ද වනු ඇත. 47මන්ද ඉසුරුමත් කාලයේදී සතුටින් හා ප්‍රීතියෙන් යුතු ව, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේට ඔබ සේවය කළේ නැත. 48එහෙයින් ස්වාමින්වහන්සේ ඔබට එරෙහිව එවන ඔබේ සතුරනට කුස ගින්නෙන් හා පිපාසයෙන් ද නිරුවතින් හා අන්ත දුගී භාවයෙන් ද යුතු ව ඔබ සේවය කරනු ඇත. ඔබ විනාශ වී යන තෙක්, උන්වහන්සේ ඔබේ කර පිට යකඩ වියගහක් තබනු ඇත.
49රාජාලියකු සැණෙක පහළ බැස එන්නාක් මෙන්, දුර ඈත පොළොවේ කෙළවරේ සිට ඔබට එරෙහිව ජාතියක් ස්වාමින්වහන්සේ ඔබ වෙත පමුණු වන සේක. ඔබට නො තේරෙන භාෂාවක් කතා කරන ජාතියක් වන ඔවුහු, 50වැඩිමහල්ලනට ගරු සරු නැති, තරුණයනට දයානුකම්පා නැති, නපුරු පෙනුමැති ජාතියකි. 51ඔබ විනාශ වී යන තුරු ඔවුන් ඔබගේ පශු සම්පතේ පැටවුන් ද ඔබේ දේශයේ පලදාව ද ගිල දමනු ඇත. ඔබ වැනසී යන තුරා ඔවුන් ධාන්‍ය, අලුත් මිදි යුෂ, තෙල්, ගව හෝ බැටළු හෝ පැටවුන් ඔබට ඉතිරි නො කරනු ඇත. 52ඔබ විශ්වාසය තබා ඇති ආරක්ෂිත උස් තාප්ප බිඳ වැටෙන තුරු ඔබේ රට පුරා සියලු නගර ඔවුන් වටලනු ඇත. ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දෙන දේශයේ නගර සියල්ල ඔවුන් වටලනු ඇත.
53මෙම වැටලීම් කාලයේ ඔබේ සතුරා ඔබට පමුණු වන හානියේ පීඩා හේතු කොට ඔබ ඔබේ ගර්භයේ පලය, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔබට දුන් ඔබේ දූ පුතුන්ගේ මස බුදිනු ඇත. 54ඔබ අතරේ සිටින ඉතාම සංවේදී මිනිසා පවා තම සහෝදරයාට හෝ තමා ප්‍රේම කරන බිරිඳට හෝ ජීවත් ව ඉතිරි ව සිටින තම දරුවනට හෝ කිසිදු අනුකම්පාවක් නො දක්වනු ඇත. 55ඔහු තමා බුදින තම දරුවන්ගේ මසින් කොටසක් හෝ ඔවුනට නො දෙනු ඇත. මන්ද ඔබේ සියලු නගර වටලා සිටීමේදී ඔබේ සතුරා ඔබට පමුණු වන පීඩා හේතුවෙන් ඔහුට කෑමට ඉතිරි ව ඇති සියල්ල එය බැවිනි. 56ඔබ අතරේ සිටින ඉතාම මෘදු, සංවේදී කාන්තාව, කෙතරම් මෘදු ද, හැඟීම් බර ද කිවහොත් තම යටි පතුල පවා බිම තැබීමට සැක සහිත ව සිටි කාන්තාව පවා ඇය ප්‍රේම කරන සැමියා ද ඇගේ පුතා හෝ දුව ද සමඟ කිසිවක් බෙදා හදා නො ගෙන, 57තම කලවා අතරින් පිටතට ආ වැදෑමහ සහ තම කුස දැරූ දරුවන් ඔවුන් වෙතින් සඟවා ගනු ඇත. මන්ද ඔබේ සතුරා ඔබ උපද්‍රවයට පමුණුවමින්, ඔබේ නගර වටලා සිටින කාලය තුළ තමාගේ අන්ත හිඟකමින් රහසේ ම ඔවුන් කා දැමීමට ඇය අදහස් කරන බැවිනි.
58මේ පොතේ ලියා ඇති මෙම නීති මාලාවේ සියලු වචන, ඔබ ඕනෑකමින් අනුගමන නො කළහොත්, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ යන තේජාන්විත, භයංකර නාමයට ගෞරව භය නො පෑවහොත්, 59ස්වාමින්වහන්සේ ඔබටත්, ඔබෙන් පැවත එන්නන් පිටටත් කර්කශ, දිග්ගැස්සුණු ආපදා හා දැඩි නිදන්ගත රෝග ද යන භයංකර ව්‍යසන එවනු ඇත. 60ඔබට බිය ඉපැදූ ඊජිප්තුවේ සියලු රෝග උන්වහන්සේ ඔබ පිටට යළි පමුණුවනු ඇත. ඒවා ඔබට ඇලී සිටිනු ඇත. 61මෙම නීති පොතේ සඳහන් නැති සියලු ආකාරයේ ලෙඩ රෝග ද ඔබ විනාශ වී යන තෙක්, ස්වාමින්වහන්සේ ඔබ පිටට පමුණු වන සේක. 62අහසේ තරු මෙන් ගණන් කළ නො හැකි තරමින් වූ ඔබ, ඔබේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේගේ හඬට කීකරු නො වූ හේතුවෙන්, ඉතිරි වනු ඇත්තේ ගණනින් ස්වල්පයකි. 63ඔබ ඉසුරුමත් කිරීමත්, ගණනින් ඔබ වර්ධන කිරීමත් ස්වාමින්වහන්සේට ප්‍රසන්න වූ අයුරින් ම ඔබ විනාශ කර, ඔබ සිඳ-බිඳ දැමීමත් උන්වහන්සේට ප්‍රසන්න වනු ඇත. අත්කර ගැනීමට ඔබ ඇතුළු වන දේශයෙන් ඔබ මුලිනුදුරා දමනු ලැබේ.
64ඉන්පසු ස්වාමින්වහන්සේ පොළොවේ එක් කොනක සිට අනෙක් කොන දක්වා වූ සියලු ජාතීන් අතරේ ඔබ විසුරුවා දමන සේක. එහිදී ඔබ, ඔබවත්, ඔබේ පියවරුන්වත් නො දැන සිටි දෙවිවරුන් වන ලීයෙන් හා ගලින් සැදුම් ලත් වෙනත් දෙවි දේවතාවුනට නමස්කාර කරනු ඇත. 65ඒ ජාතීන් අතරෙහි ඔබට කිසි පහසුවක් නො වනු ඇත. ඔබේ පයට කිසි විවේකයක් නො වනු ඇත. එහිදී ස්වාමින්වහන්සේ ඔබට කම්පිත සිතක් ද වෙහෙසකර ඇස් ද තැවුල් හදක් ද දෙන සේක. 66ඔබ දිවි ගෙවනු ඇත්තේ, නිරන්තර දෙගිඩියාවකිනි. රැයේත්, දවාලෙත් භයින් පිරී ඔබේ ජීවිතය ගැන අවිශ්වාසයෙනි. 67ඔබේ හදවත් පිරෙන භීතිය නිසාත්, ඔබේ ඇස්වලට පෙනෙන දසුන් නිසාත්, ඔබ උදෑසනදී, “අනේ, දැන් හවස නම්!” කියනු ඇත; හවස් වූ කල, “අනේ, දැන් උදෑසන නම්!” කියනු ඇත. 68යළි ඒ මගෙහි ඔබ නො යා යුතු යැයි මා කී ඊජිප්තු දේශයට ස්වාමින්වහන්සේ නැව් මගින් යළි ඔබ ගෙන යන සේක. එහිදී ඔබ ඔබේ සතුරනට වහලුන් හා වහලියන් මෙන් ඔබ ම විකුණා ගන්නට ඉදිරිපත් වනු ඇත. එහෙත් කිසිවකු ඔබ මිලට ගන්නේ නැත.
موجودہ انتخاب:
ද්විතීය 28: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.