2 සාමුවෙල් 5

5
සමස්ත ඉශ්‍රායෙලයේ ම රජු වීම
1මුළු ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ, දාවිත් වෙත හෙබ්‍රොන්ට පැමිණ, ඔහු අමතමින්, “මෙන්න, අප ඔබේ ම ඇට හා මාංශයි. 2සාවුල් අපට රජකම් කළ ඉකුත් සමයේදීත්, ඉශ්‍රායෙල් යුධ මෙහෙයුම්වල පෙරමුණ ගත්තේ ඔබයි. ස්වාමින්වහන්සේ ඔබට කතා කොට, ‘ඔබ, මගේ ඉශ්‍රායෙල් ජනයාට එඬේරාණන් වනු ඇත; මගේ ඉශ්‍රායෙල් ජනයාගේ පාලකයා වන්නේ ය’ කියා කී සේකැ” යි කීහ.
3ඉශ්‍රායෙල් සියලු වැඩිහිටියන් හෙබ්‍රොන්හි රජු වෙත ආ කල, දාවිත් රජු හෙබ්‍රොන්හි දී ස්වාමින්වහන්සේ අබියස ඔවුන් සමඟ ගිවිසුමක් කළේ ය. ඔවුහු ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කළහ.
4රජකමට පත් වන විට තිස් අවුරුදු වයස් ව සිටි දාවිත් අවුරුදු හතළිහක් රජකම් කළේ ය. 5ඔහු හෙබ්‍රොන්හි හත් අවුරුදු හය මසක් යූදා වෙත රජකම් කළේ ය. පසුව යෙරුසලමෙහි තිස්තුන් අවුරුද්දක් මුළු ඉශ්‍රායෙල් හා යූදා කෙරේ රජකම් කළේ ය.
දාවිත් යෙරුසලම අල්ලා ගනී
6රජු හා ඔහුගේ මිනිස්සු යෙරුසලම වෙත ගියේ, දේශ වාසීන් වූ යෙබූසිවරුන්ට එරෙහිව ය. යෙබූසිවරු දාවිත්ට කතා කොට, “ඔබට මෙහි ඇතුළු වන්නට බැහැ. අන්ධයින්ට හා කොරුන්ට වුව ද ඔබ හරවා යැවිය හැකියි” කීහ. “මෙහි ඇතුළු වීමට දාවිත්ට නුපුළුවනැ” යි ඔවුහු සිතූහ. 7එහෙත් දාවිත් සියොන් බළකොටුව අල්ලා ගත්තේ ය. එය, දාවිත් පුරවරයයි.
8ඒ දවසේ දාවිත් කතා කොට, “දාවිත්ගේ එදිරිවාදීන්#5:8 දාවිත්ගේ එදිරිවාදීන් හෙවත් දාවිත්ගේ ජීවයට වෛරී වූ ලෙස වන කොරුන්ට හා අන්ධයින්ට ළං වීමට, යෙබූසිවරුන්ට පහර දෙන්නට කැමති හැම කෙනෙක් ම දිය අගල තුළින් යත්වා” යි කීවේ ය. “අන්ධයින් හා කොරුන් ගෘහයට ඇතුළු වන්නේ නැතැ” යි කියනු ලබන්නේ එබැවිනි.
9ඉන්පසු දාවිත් බළකොටුවෙහි පදිංචි වී, දාවිත් පුරය යැයි ඊට නම් තැබී ය. දාවිත් මිල්ලෝ#5:9 මිල්ලෝ එනම් පස් පිර වූ රැඳවුම් පවුරු ඇතුළත පටන් වටේට පුරය ගොඩ නැගී ය. 10දාවිත් වඩ වඩා බලවත් විය. මන්ද සේනාංකවල දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ ඔහු සමඟ වූ බැවිනි.
11තවද තීර්හි රජු වූ හීරාම්, දාවිත් වෙත පණිවුඩකරුවන් ද ඒ සමඟ දේවදාර කොටන් ද ලී වඩුවන් හා පෙදරේරුවන් ද එවී ය. ඔවුහු දාවිත්ට ගෘහයක් තැනූහ. 12ස්වාමින්වහන්සේ ඉශ්‍රායෙල් කෙරෙහි රජු වශයෙන් තමා ස්ථාපිත කර ඇති වගත්, උන්වහන්සේගේ ජනතාව වන ඉශ්‍රායෙල් උදෙසා තම රාජ්‍යය උසස් කර ඇති වගත් දාවිත් එවිට වටහා ගත්තේ ය.
13හෙබ්‍රොන් වෙතින් නික්ම ගිය පසු, දාවිත් යෙරුසලමෙහි දී තවත් අතිරේක භාර්යාවන් හා භාර්යාවන් ලබා ගත්තේ ය. ඔහුට දාව තව තවත් පුත්තු හා දූවරු උපන්හ. 14යෙරුසලමේදී ඔහුට උපන් දරුවන්ගේ නාම මෙසේ ය. ෂම්මුවා, ෂෝබාබ්, නාතාන්, සාලමොන්, 15ඉබ්හාර්, එලිෂූවා, නෙෆෙග්, යාෆියා, 16එලිෂාමා, එලියාදා හා එලිෆෙලෙත් ය.
පිලිස්තීන් පැරදවීම
17ඉශ්‍රායෙල් රජු වශයෙන් දාවිත් ආලේප කරන ලද වග ඇසූ පිලිස්තිවරු සියල්ලෝ සම්පූර්ණ හමුදාව ඇතුව ඔහු සොයන්නට පිටත් ව ආහ. එහෙත් ඒ ඇසූ දාවිත් බළකොටුවට බැස ගියේ ය. 18මේ අතර පිලිස්තිවරු අවුත්, රෙෆායිවරුන්ගේ මිටියාවතේ පැතිර සිටියහ. 19එබැවින් දාවිත් ස්වාමින්වහන්සේගෙන් විචාරමින්, “මා ගොස්, පිලිස්තිවරුන්ට පහර දෙන්න ද? ඔබවහන්සේ මා අතට ඔවුන් හසුකර දෙන සේක් දැ?” යි ඇසී ය.
ස්වාමින්වහන්සේ දාවිත්ට පිළිතුරු දෙමින්, “යන්න! මම සැබවින් ම පිලිස්තිවරුන් ඔබ අතට හසුකර දෙන්නෙමි” යි පැවසූහ.
20දාවිත් එබැවින්, බාල්-පෙරාසීම් වෙත ගොස්, එහිදී ඔවුන් පැරදවී ය. “කඩා බිඳ යන ජල ප්‍රවාහයක් සේ ස්වාමින්වහන්සේ මගේ සතුරන් මා ඉදිරිපිටින් කඩා බිඳ දැමූ සේකැ” යි ඔහු කීවේ ය. එසේ හෙයින් ඒ ස්ථානය බාල්-පෙරාසීම් යන නමින් හැඳින්විණි. 21පිලිස්තිවරු තම දේවතා පිළිම එහි අතැර ගියහ. දාවිත් හා ඔහුගේ මිනිස්සු ඒවා රැගෙන ගියහ.
22යළිත් පිලිස්තිවරු පැමිණ, රෙෆායිවරුන්ගේ මිටියාවතේ පැතිරුණහ. 23එවිට දාවිත් ස්වාමින්වහන්සේගෙන් විමසූ කල, උන්වහන්සේ පිළිතුරු දෙමින්, “කෙළින් ම ඉදිරියට නො ගොස්, ඔවුන්ට පිටුපසින් වටකර ගොස්, බාකා ගස්#5:23 ගස නිශ්චිත ලෙස නම් කළ නො හැකි ය. ඉදිරිපිටදී ඔවුන්ට පහර දෙන්න. 24බාකා ගස් මුදුන්හි පිය නගන හඬක් ඇසෙන කල වහා ක්‍රියාත්මක වන්න. මන්ද ඉන් අදහස් වන්නේ පිලිස්ති හමුදාවට පහර දීමට ස්වාමින්වහන්සේ ඔබට පෙරටුවෙන් ගොස් ඇති වග යැ” යි කී සේක. 25එබැවින් දාවිත්, ස්වාමින්වහන්සේ තමාට අණ කළ පරිදි කළේ ය. ඔහු ගිබෙයොන්#5:25 ගිබෙයොන් ග්‍රීක හා 1 ලේක 14;16 බලන්න. හෙබ්‍රෙව් ගෙබා පටන් ගෙසෙර් දක්වා දිගට ම පිලිස්තිවරුන් ගසා හෙළී ය.

موجودہ انتخاب:

2 සාමුවෙල් 5: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in