2 සාමුවෙල් 4

4
ඊෂ්-බොෂෙත්ගේ මරණය
1අබ්නේර් හෙබ්‍රොන්හි දී මියැදී ඇති වග සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ට සැල වූ කල, ඔහුගේ දිරිය සිඳී ගියේ ය. මුළු ඉශ්‍රායෙලය ම තැති ගැණින. 2සාවුල්ගේ පුත්‍රයාට ආක්‍රමණ කණ්ඩායම් නායකයින් වූ මිනිසුන් දෙදෙනෙක් සිටියහ. එක් කෙනකුගේ නම බානා ය. අනෙකා රේකාබ් ය. ඔවුහු බෙන්යමින් වංශයේ බෙයේරොතීය රිම්මෝන්ගේ පුත්තු ය. මෙකල බෙයේරොත්, බෙන්යමින් දේශයේ කොටසක් වශයෙන් සලකනු ලැබිණ, 3කලින් සිටි බෙයේරොතීය ජනයා ගිත්තයිම් වෙත පලා ගොස්, මේ දවස දක්වාත් එහි විදේශී ව වෙසෙන්නාහු බැවිනි.
4සාවුල්ගේ පුත් යොනාතාන්ට දෙපා කොර වූ පුතෙක් සිටියේ ය. යෙස්රෙයෙල්හි සිට සාවුල් හා යොනාතාන් පිළිබඳ පුවත සැලවන කල්හි ඔහු සිටියේ පස් හැවිරිදි ව ය. ඔහුගේ සාත්තු සේවිකාව ඔහු ඔසවාගෙන, පලා ගියා ය. එහෙත් ඇගේ පලා යෑමේ කඩිනමේදී ඔහු වැටී, කොර වුණේ ය. ඔහුගේ නම මෙෆීබොෂෙත් ය.
5එකල බෙයේරොතීය රිම්මෝන්ගේ පුත්‍රයින් වූ රේකාබ් හා බානා පිටත් ව, දවසේ ගිනියම් වේලෙහි ඊෂ්-බොෂෙත්ගේ නිවසට ආහ. මද්දහනේ ඔහු තම විවේක සුවය විඳින අතරේ එහි ළඟා වූ ඔවුහු 6නිවස මධ්‍යයට පැමිණ, තිරිඟු ගන්නට යන මුවාවෙන් නිවසේ ඇතුළු කොටසට පිවිස, ඔහුගේ බඩට ඇන්නහ. ඉන්පසු රේකාබ් හා ඔහුගේ සහෝදර බානා පැන ගියහ.
7ඔවුන් ඇතුළු ගෙට වන් කල, ඔහු තම නිදන කුටියේ සයනය මත දිගා වී සිටියේ ය. ඔවුහු ඔහුට පහර දී, ඇන, ඔහු මැරූහ. ඉන්පසු ඔවුහු ඔහුගේ හිස ගසා, එය ගෙන, අරාබා මාවත ඔස්සේ මුළු රැය ම ගමන් කළහ. 8ඔවුහු ඊෂ්-බොෂෙත්ගේ හිස හෙබ්‍රොන්හි දාවිත් වෙත ගෙනාහ. ඔවුහු රජු අමතා, “මෙන්න, ඔබේ ජීවිතය සෙවූ ඔබේ සතුරා වූ සාවුල්ගේ පුත් ඊෂ්-බොෂෙත්ගේ හිස. අද දවසේ ස්වාමින්වහන්සේ මගේ ස්වාමි වූ රජ්ජුරුවන් උදෙසා සාවුල්ට හා ඔවුන්ගේ වංශයට එරෙහිව පළිය ගත් සේකැ” යි කීවෝ ය.
9එවිට දාවිත්, බෙයේරොතීය රිම්මෝන්ගේ පුතුන් වූ රේකාබ්ට හා ඔහුගේ සහෝදර බානාට කතා කොට, “සියලු විපත්වලින් මා මිදූ ස්වාමින්වහන්සේ ජීවත් වන වග සැබෑ සේ ම, 10තමන් හොඳ ආරංචියක් ගෙනෙන්නේ යැයි සිතා ‘අන්න, සාවුල් මැරුණා’ යි කෙනකු මට කී කල, සික්ලග්හි දී මම ඒ මිනිසා අල්ලා, මරා දැමීමි. ඔහුගේ ආරංචියට මා ඔහුට දුන් ත්‍යාගය එයයි. 11එසේ නම්, තම නිවසේ තම යහනේදී ම නිදොස් මිනිසකු මැරූ දුෂ්ට මිනිසුන් වන නුඹලා අතින් ඊට වඩා කොපමණ වැඩියෙන් මා දැන් ඔහුගේ ලේ නුඹලාගෙන් අය කර, පොළෝතලෙන් නුඹලා පහ කර දැමිය යුතු දැ!” යි කීවේ ය.
12දාවිත් තම තරුණයින්ට නියෝගයක් දුන්නෙන්, ඔවුහු ඔවුන් මරා දැමූහ. ඔවුහු ඔවුන්ගේ අත්-පා කපා, ඔවුන්ගේ සිරුරු හෙබ්‍රොන් පොකුණ අසල එල්ලා තැබූහ. එහෙත් ඔවුහු ඊෂ්-බොෂෙත්ගේ හිස හෙබ්‍රොන්හි අබ්නේර්ගේ සොහොනෙහි භූමදාන කළහ.

موجودہ انتخاب:

2 සාමුවෙල් 4: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in