1 සාමුවෙල් 9
9
සාවුල් ආලේප කිරීම
1කීෂ් නම් වූ බෙන්යමින් මිනිසෙක් සිටියේ ය. බෙන්යමීය මිනිසකුගේ පුත්‍ර වූ අෆියාගේ පුත්‍ර, බෙකෝරත්ගේ පුත්‍ර, සෙරෝර්ගේ පුත්‍ර, අබියෙල්ගේ පුත්‍රයා වූ ඔහු ධනවත් මිනිසෙකි. 2ඔහුට සාවුල් නම් වූ කඩවසම් තරුණ පුතකු සිටියේ ය. ඔහුට වඩා කඩවසම් කෙනකු ඉශ්‍රායෙල් පුත්‍රයින් අතර නො වී ය. උරහිසේ පටන් ඔහු අන් කවරකුටත් වඩා උසින් යුතු විය.
3මෙකල සාවුල්ගේ පියා වූ කීෂ්ගේ බූරු දෙනුන් නැති විණි. එබැවින් තම පුත් සාවුල් ඇමතූ කීෂ්, “ඔබගේ තරුණ සේවකයින්ගෙන් කෙනකු ඔබ සමඟ ගෙන, ගොසින් බූරුවන් සොයා බලන්නැ” යි කීවේ ය. 4ඔහු එප්‍රායිම් කඳුරට හරහා ද ෂාලිෂා අවට පෙදෙස හරහා ද සැරි සැරූ නමුදු, ඔවුන්ට උන් සම්භ වුණේ නැත. ඔවුහු ෂාලීම් පළාත ද පසු කර ගියහ. එහෙත් උන් එහි ද සිටියේ නැත. ඉන්පසු ඔවුහු බෙන්යමින් දේශය#9:4 බෙන්යමින් දේශය හෙබ්‍රෙව් යෙමීනී දේශය හරහා සැරි සැරූහ. එහෙත් ඔවුනට උන් සොයාගත නො හැකි විය.
5ඔවුන් සූෆ් පළාතට ළඟා වූ කල, තමා හා සිටි සේවකයා ඇමතූ සාවුල්, “එන්න, අපි ආපහු යමු; නැතහොත් මගේ පියා, බූරු දෙනුන් ගැන කල්පනාව අත්හැර අප ගැන කනස්සලු වනු ඇතැ” යි කීවේ ය.
6එහෙත් ඔහු පිළිතුරු දෙමින්, “දන්නවා ද! දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයෙක් මේ නගරයේ සිටී. ඔහු ඉතා ගරු කටයුතු කෙනෙක්. ඔහු කියන හැම දෙයක් ම සැබෑ වෙයි. අපි දැන් එහි යමු. අප යා යුත්තේ කවර මාර්ගයේ දැයි ඇතැම් විට ඔහු අපට කියා දේවි” යි කීවේ ය.
7එවිට සාවුල් තම සේවකයා අමතමින්, “එහෙත්, අප යනවා නම්, මොනවා ද අප ඒ මනුෂ්‍යයාට ගෙන යන්නේ? අපේ මලුවල ආහාරත් ඉවරයි. දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට ගෙන යෑමට තෑග්ගක් කෝ! මොනවද අප ළඟ තියෙන්නේ?” යි පැවසී ය.
8සේවකයා නැවත සාවුල්ට පිළිතුරු දෙමින්, “මෙන්න, මා ළඟ රිදී ෂෙකෙල් කාලක් තියෙනවා. අප යා යුතු මග අපට කීම සඳහා දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයාට මම එය දෙන්නම්” කීවේ ය. 9(ඉහතදී ඉශ්‍රායෙල්හි යමෙක්, දෙවියන්වහන්සේගෙන් විමසන්නට ගිය කල, “එමු; අපි පේන කියන්නා වෙත යමු” යි කියයි. මන්ද මෙකල දිවැසිවරයා, එකල හැඳින්වූයේ පේන කියන්නා නමිනි.)
10එවිට සාවුල්, “අගෙයි. එන්න. අපි යමු” යි තම සේවකයාට පැවසී ය. මෙසේ ඔවුහු දෙවියන්වහන්සේගේ මනුෂ්‍යයා සිටි පුරවරය බලා පිටත් වූහ.
11ඔවුන් කන්ද නැග, නගරයට යන අතරේ, දිය අදින්නට පිටත් ව එන තරුණියන් කීප දෙනකු ඔවුනට හමු විණ. “පේන කියන්නා මෙහි සිටිනවා දැ?” යි ඔවුහු ඔවුන්ගෙන් ඇසූහ.
12ඔවුහු පිළිතුරු දෙමින්, “ඔව්, ඔහු සිටී. අන්න; ඔහු ඔබට මදක් ඉදිරියෙන්! ඉක්මන් කරන්න; මන්ද ජනයා අද උස් තැන් පුදසුනේ යාග පූජාවක් කරන නිසා, ඔහු මේ දැන් නගරයට ඇවිල්ලා. 13ඔබ නගරයට ඇතුළු වූ විගස, ඔහු පූජාව වළඳන්නට උස් තැන් පුදසුනට නැගෙන්නට කලින් ඔහු ඔබට මුණ ගැසෙනු ඇත. ඔහු එන තුරු ජනයා කන්නේ නැත. මන්ද පූජාවට ඔහු ආශිර්වාද කළ යුතු නිසයි. ආරාධිතයින් අහර ගන්නේ ඉන් පසුවයි. දැන් ම නැග යන්න. නොපමාව ඔහු ඔබට හමු වනු ඇතැ” යි කීහ.
14ඔවුහු කන්ද නැග, පුරවරයට ගියහ. ඔවුන් එහි ඇතුළු වෙද්දී, සාමුවෙල් උස් තැන් පුදසුන වෙත පියමං කරමින්, ඔවුන් දෙසට එමින් සිටියේ ය.
15සාවුල් පැමිණෙන්නට පෙර දවසේ, ස්වාමින්වහන්සේ සාමුවෙල්ට මෙසේ එළිදරවු කර තිබිණි: 16“හෙට මේ වෙලාවට පමණ මම බෙන්යමින් දේශයෙන් මිනිසකු ඔබ වෙත එවන්නෙමි. මගේ ජනයා වන ඉශ්‍රායෙල්වරුන්ගේ අධිපතියා කොට, ඔබ ඔහු ආලේප කළ යුතුයි. ඔහු මගේ ජනයා පිලිස්තිවරුන් අතින් මුදා ගනු ඇත. මම මගේ ජනතාවගේ දුක බැලීමි. මන්ද ඔවුන්ගේ මොරගෑම මා වෙත පැමිණ ඇත.”
17සාමුවෙල්, සාවුල් දුටු කල, ස්වාමින්වහන්සේ සාමුවෙල් අමතමින්, “මෙන්න! මොහුයි මා ඔබට පැවසූ මිනිසා. ඔහු මගේ ජනතාව පාලනය කරනු ඇතැ” යි කී සේක.
18දොරටුවේදී සාමුවෙල් වෙත ළං වූ සාවුල්, “පේන කියන්නාගේ ගේ කොහේ ද කියා කරුණාකර මට කිව හැකි දැ?” යි ඇසී ය.
19සාමුවෙල් සාවුල්ට පිළිතුරු දෙමින්, “පේන කියන්නා මමයි. මට පෙරටුව උස් තැන් පුදසුන වෙත යන්න. මන්ද අද ඔබ මා සමඟ ආහාර ගන්න ඕනේ. හෙට උදයේ ඔබ යන්නට හරින්නම්. ඔබේ හද තුළ ඇති සියල්ල ද මම ඔබට කියන්නම්. 20තුන් දවසකට උඩදී නැති වූ බූරු දෙනුන් ගැන තවත් සිතන්න ඕනෑ නෑ. උන් සම්භවෙලා. ඉශ්‍රායෙල්හි ප්‍රිය උපදනා සියල්ල කවුරුන්ට ද? ඒවා ඔබටත් ඔබ පියාගේ පවුලේ සැමටත් නො වේ දැ?” යි කීවේ ය.
21සාවුල් පිළිතුරු දෙමින්, “කුඩා ම ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශය වූ බෙන්යමින්වරයෙක් නො වේ ද මා! බෙන්යමින් ගෝත්‍රයේ සියලු පෙළපත් අතරින් ඉතාම සුළු එක, මා අයත් පෙළපත නො වේ ද? එහෙම නම් ඇයි ඔබ මෙවැනි දෙයක් මට පවසන්නේ?” යි ඇසී ය.
22සාමුවෙල් ඉන්පසු සාවුල් හා ඔහුගේ සේවකයා ශාලාවට කැඳවාගෙන අවුත්, තිස්දෙනකු පමණ වූ ආරාධිතයින් අතරේ මුල් අසුනේ ඔවුන් හිඳවූයේ ය. 23ඉන්පසු කෝකියාට කතා කළ සාමුවෙල්, “වෙන් කර තබන්න කියා මා ඔබට දුන් පංගුව ගෙනෙන්නැ” යි කීවේ ය.
24එවිට කෝකියා මස් ගාතය හා ඒ මත වූ දෑ ද ගෙනවුත්, සාවුල් ඉදිරියේ තැබී ය. එවිට සාමුවෙල් කතා කරමින්, “මෙන්න ඔබට වෙන් කර තැබූ දෑ; කන්න. මන්ද ‘අමුත්තන්ට මම ඇරියුම් කළෙමි’ යි මා කී වේලේ පටන් මේ අවස්ථාව සඳහා ම එය ඔබට වෙන් කර තිබිණැ” යි කීවේ ය. සාවුල් ඒ දවසේ සාමුවෙල් සමඟ අහර ගත්තේ ය.
25ඔවුන් උස් තැන පුදසුන වෙතින් නගරය වෙත පහළට ආ පසු, සාමුවෙල් තම නිවසේ පියස්ස මතදී සාවුල් හා කතා කළේ ය.#9:25 ග්‍රීක් පරිවර්තනයෙහි පහත වාක්‍ය කණ්ඩය සඳහන් වේ. සාවුල් සඳහා පියස්සේ යහනක් පැනවිණ. ඔහු නිදන්නට හාන්සි විය. 26දවසේ උදාවත් සමඟ ගෙපියස්ස මතදී සාවුල්ට කතා කළ සාමුවෙල්, “සූදානම් වන්න. මම ඔබ පිටත් කර හරින්නෙමි” යි පැවසී ය. සාවුල් සූදානම් වූ කල, ඔහු ද සාමුවෙල් ද එක් ව පිටතට ගියහ. 27ඔවුන් නගර සීමාව වෙත යමින් සිටියදී, සාමුවෙල්, සාවුල්ට කතා කොට, “අපට පෙරටුව යන ලෙස සේවකයාට කියන්න. දෙවියන්වහන්සේගේ වචනය මා ඔබට දන්වන පිණිස ඔබ මදකට මෙතැන නවතින්නැ” යි කී ය.
موجودہ انتخاب:
1 සාමුවෙල් 9: SCV
سرخی
کاپی
موازنہ
شئیر
کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.