1 සාමුවෙල් 30

30
අමලෙක්වරුන් ලුහුබැඳීම
1දාවිත් හා ඔහුගේ මිනිසුන් තුන් වන දවසේ සික්ලග් වෙත ළඟා වන විට, අමලෙක්වරුන් නෙගෙබ්#30:1 නෙගෙබ් එනම් දකුණු දිශාව හා සික්ලග් ආක්‍රමණ කර තිබිණ. ඔවුන් සික්ලග් වෙත පහර දී, එය ගිනි ලා, 2එහි වූ කාන්තාවන් ද බාල මහලු සෙසු සියල්ලන් ද අල්ලාගෙන ගොස් තිබිණ. ඔවුහු ඒ කිසිවකු නොමැරූ අතර, තමන් පිටත් ව යද්දී ඔවුන් ද ගෙන ගියහ.
3දාවිත් සහ ඔහුගේ මිනිස්සු සික්ලග් වෙත පැමිණි කල, එය ගින්නෙන් විනාශ කර ඇති වග ද තම භාර්යාවන්, පුතුන් හා දූවරුන් අල්ලාගෙන ගොස් ඇති වග ද දුටුවහ. 4එබැවින් දාවිත් හා ඔහුගේ මිනිස්සු වැලපෙන්නට තමන්ට ශක්තියක් නැති වන තුරු කෑ ගසා හැඬූහ. 5යෙස්රෙයෙලීය අහිනොවම් හා කර්මෙලීය නාබාල්ගේ වැන්දඹුව වූ අබිගායිල් ද යන දාවිත්ගේ භාර්යාවන් දෙදෙනා ම අල්ලාගෙන ගොස් තිබිණ. 6දාවිත් මහත් අසීරුතාවකට පත් විය. මන්ද ඔහුට ගල් ගැසීමට මිනිසුන් කතා වූ බැවිනි. හැම කෙනෙක් ම තම තමන්ගේ පුතුන් හා දූවරුන් නිසා, වේදනාවට පත් ව සිටියහ. එහෙත් දාවිත් තම දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ තුළ තමා ශක්තිමත් කර ගත්තේ ය.
7දාවිත් ඉන්පසු අහිමෙලෙක්ගේ පුත් අබියාතර් පූජකයාට කතා කර, “ඒපොද් සැට්ටය මා ළඟට ගෙනෙන්නැ” යි කීවේ ය. අබියාතර් ඒපොද් සැට්ටය දාවිත් වෙත ගෙනාවේ ය. 8එවිට දාවිත්, ස්වාමින්වහන්සේගෙන් විමසමින්, “මා මෙම ආක්‍රමණික කණ්ඩායම ලුහුබඳින්න ද? මට ඔවුන් අල්ලා ගන්නට හැකි වේ දැ?” යි ඇසී ය.
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ලුහුබැඳ යන්න. ඔවුන් අල්ලා ගන්නටත්, මුදා ගන්නටත් නියතයෙන් ම ඔබට හැකි වෙතැ” යි පැවසූ සේක.
9දාවිත් ද ඔහු සමඟ වූ මිනිසුන් හයසියදෙනා ද බෙසෝර් දොරුව දක්වා පැමිණියහ. ඇතැම් දෙනෙක් එතැනදී නතර වූහ. 10මන්ද මිනිසුන් දෙසිය දෙනෙක් දොරුව තරණය කරන්නට බැරි තරමට විඩාබර ව සිටියහ. එහෙත් දාවිත් සහ සෙසු හාරසිය දෙනා දිගට ම ලුහුබැඳ ගියහ.
11එළිමහන් බිමකදී ඔවුන්ට ඊජිප්තු ජාතිකයකු දක්නට ලැබිණි. ඔවුහු දාවිත් වෙත ඔහු ගෙනාහ. ඔවුහු ඔහුට රොටි දුන්හ. ඔවුහු ඔහුට බීමට වතුරත් දුන්හ. 12තවද අත්තික්කා කැටියකින් කොටසක් ද වියළි මිදි කැවිලි දෙකක් ද ඔවුහු ඔහුට දුන්හ. ඒවා අහරට ගත් පසු ඔහු ප්‍රකෘතිමත් විය. මන්ද ඔහු දවස් තුනක් හා රෑ තුනක් සිට ඇත්තේ කෑමට රොටිවත්, බීමට වතුරවත් නැතිව ය.
13දාවිත් ඔහුට කතා කොට, “නුඹ අයිති කවරකුට ද? නුඹ එන්නේ කොහි සිට දැ?” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “මා ඊජිප්තු තරුණයෙක්. අමලෙක්වරයකුගේ වහලෙක්. තුන් දිනකට පළමු මා රෝගාතුර වූ කල, මගේ ස්වාමියා මා අත්හැර දමා ගියා. 14අපි කෙරේතිවරුන්ගේ නෙගෙබ් ද යූදාවරුන්ට අයත් පෙදෙස ද කාලෙබ්ගේ නෙගෙබ් ද ආක්‍රමණ කර, සික්ලග් ගිනි ලෑවා” යි කීවේ ය.
15එවිට දාවිත්, “මේ ආක්‍රමණ කණ්ඩායම වෙත මට මග පෙන්වන්නට නුඹට පුළුවන් දැ?” යි ඇසී ය.
ඔහු පිළිතුරු දෙමින්, “ඔබ මා මරා දමන්නේ නැති වගටත්, මගේ ස්වාමියා අතට මා බාර දෙන්නේ නැති වගටත්, දෙවියන්වහන්සේ ඉදිරියෙහි මට දිවුරන්න. එවිට ඒ කණ්ඩායම ළඟට මා ඔබ ගෙන යන්නම්” යැයි කීවේ ය.
16ඔහු දාවිත්ට මග පෙන්වී ය. එවිට මෙන්න! පිලිස්ති දේශයෙන් හා යූදා දේශයෙන් පැහැර ගන්නා ලද මහත් කොල්ලය නිසා ඔවුහු මුළු බිම් පෙදෙස පුරා විසිරී, පැතිරී, කමින් ද බොමින් ද නටමින් ද සිටියහ. 17දාවිත් සවස ගොම්මනේ පටන් පසු දා සවස් වන තෙක්, ඔවුන්ට පහර දුන්නේ ය. ඔටුවන් පිට නැගී පලා ගිය තරුණයින් හාරසිය දෙනකු හැර සෙසු කිසිවකුත් ගැලවුණේ නැත. 18අමලෙක්වරුන් විසින් ගෙන යනු ලැබ තිබූ සියල්ල දාවිත් මුදා ගත්තේ ය. දාවිත් තම භාර්යාවරුන් දෙදෙනා ද මුදා ගත්තේ ය. 19කිසිවකුත් නැති නො විණ. බාලයින් හා වැඩිහිටියන් ද පුතුන් හා දූවරුන් ද කොල්ලකනු ලැබ හෝ ගෙන යනු ලැබ තිබූ සියල්ල ද දාවිත් ආපසු ගෙනාවේ ය. 20දාවිත් එළු බැටළු රංචු හා ගව රංචු සියල්ල ද අල්ලා ගත්තේ ය. ඔහුගේ මිනිස්සු, “දාවිත්ගේ කොල්ලය මේ යැ” යි කියමින්, සෙසු සත්ව සම්පතට පෙරටුවෙන් උන් දක්කාගෙන ගියහ.
21ඉන්පසු දාවිත්, කලින් අධික විඩාව නිසා ඔහු හා යා ගත නො හැකි ව බෙසෝර් දොරුව ළඟ නතර වූ දෙසියදෙනා වෙත පැමිණියේ ය. දාවිත් සහ ඔහු සමඟ සිටියවුන් මුණගැසීමට ඔවුහු පෙරමගට ආහ. දාවිත් ඔවුනට ළඟා වූ කල ඔහු ඔවුනට ආචාර කළේ ය. 22එහෙත් දාවිත් අනුව ගිය මිනිසුන් අතර වූ දුෂ්ට හා කලබලකාර සියල්ලෝ, “මොවුන් අප හා නො ගිය බැවින් අප ආපසු ලබා ගත් කොල්ලය ඔවුන් හා බෙදා ගන්නේ නැත. එසේ වුවත් ඒ එක් එක්කෙනා තම තමාගේ බිරිඳත්, තම දරුවනුත් ගෙන ගියා වේ” යි කීවෝ ය.
23එහෙත් දාවිත් පිළිතුරු දෙමින්, “නැහැ මගේ සහෝදරයිනි, ස්වාමින්වහන්සේ අපට දුන් දෙයින් ඔබ එසේ නො කළ යුතුයි. උන්වහන්සේ අප ආරක්ෂා කළ සේක්, අපට එරෙහිව පැමිණි ආක්‍රමණ කණ්ඩායමත් අපට යටත් කොට දුන් සේක. 24ඔබ කියන දේට සවන් දෙන්නේ කවුරු ද? බඩු භාණ්ඩ ළඟ නැවතී සිටින්නන්ගේ පංගු කොටස, යුද්ධයට යන්නන්ගේ පංගු කොටසට සමාන වෙයි. සැවොම එක හා සමාන ව බෙදා ගත යුතුයි” කීවේ ය. 25ඔහු මෙය එදා පටන් මේ දක්වා ඉශ්‍රායෙල්හි පනතක් හා නියෝගයක් බවට පැමිණ වී ය.
26දාවිත් සික්ලග් වෙත පැමිණි පසු, කොල්ලයෙන් කොටසක් තම මිතුරන් වූ යූදාහි වැඩිහිටියන් වෙත යවමින්, “ස්වාමින්වහන්සේගේ සතුරන්ගෙන් ගත් කොල්ලයෙන් ඔබට ත්‍යාගයකි මේ” යි දැන්වී ය.
27ඔහු ඒවා යැවුවේ, බෙතෙල් ද රාමොත්-නෙගෙබ් ද යත්තීර් ද 28අරෝයෙර් ද සිෆ්මෝත් ද එෂ්තෙමොවා ද 29රාකාල් ද යෙරාමෙයෙල්වරුන්ගේ පුරවරවල හා කේනිවරුන්ගේ පුරවරවල සිටින්නවුන් වෙත ය; 30හොර්මා ද බෝර්-ආෂාන් ද අතාක් ද 31හෙබ්‍රොන්හි ද සිටින්නවුන් වෙත ය; දාවිත් හා ඔහුගේ මිනිසුන් ගැවසුණු සියලු තැන්හි සිටියවුන් වෙත ය.

موجودہ انتخاب:

1 සාමුවෙල් 30: SCV

سرخی

کاپی

موازنہ

شئیر

None

کیا آپ جاہتے ہیں کہ آپ کی سرکیاں آپ کی devices پر محفوظ ہوں؟ Sign up or sign in