මාර්ක් 16

16
මරණින් නැගිටීම
1සබත නිම වූ පසු ගොස්, උන්වහන්සේ ආලේප කරන පිණිස, මග්දලාහි මරියා, යාකොබ්ගේ මව වූ මරියා හා සලෝමි සුවඳ ද්‍රව්‍ය මිලට ගත්හ. 2සතියේ පළමු දින උදෙන් හිරු උදාව සමඟ සොහොන් ලෙන වෙත ගිය ඔවුහු, 3ඔවුනොවුන් අමතමින්, “ලෙන් දොරකඩ තිබෙන ගල අපට ඉවත පෙරළා දෙන්නේ කවුරු දැ?” යි කීහ.
4එහෙත් ඔවුන් ඉහළ බැලූ කල, අති විශාල එම ගල ඉවතට පෙරළා තිබෙනු දුටුවහ. 5ලෙන තුළට ඇතුළු වූ ඔවුහු එහි දකුණු පස සුදු ලෝගුවක් හැඳි තරුණයකු වාඩි වී සිටිනු දැක භීත වූහ.
6එහෙත් ඔහු කතා කොට, “බය වන්න එපා; ඔබ සොයන්නේ කුරුසියේ ඇණ ගසන ලද නාසරෙත්හි යේසුස්වහන්සේයි. උන්වහන්සේ නැගිටුණා! උන්වහන්සේ මෙහි නැත. බලන්න! ඔවුන් උන්වහන්සේ තැන්පත් කළ තැන! 7එහෙත් දැන් උන්වහන්සේගේ ගෝලයින් හා පේතෘස් වෙත ගොස්, ‘උන්වහන්සේ ඔබට කලින් ගලීලයට යන වගත්, උන්වහන්සේ ඔබට පැවසූ ලෙස එහිදී ඔබ උන්වහන්සේ දකිනු ඇති වගත් කියන්නැ’ යි” පැවසී ය.
8එහෙත් ඔවුන් පිට වී, සොහොන වෙතින් පලා ගියහ. වෙවුලුම හා විස්මය ඔවුන් වෙළාගත් බැවින් ඔවුන් කිසිවකුට කිසිවක් කීවේ නැත. මන්ද ඔවුහු බයවී සිටියහ.
9සතියේ පළමු දවසේ වේලාසන නැගුටුණු පසු, උන්වහන්සේ පළමු කොට, මග්දලාහි මරියාට පෙනුණු සේක; ඈ උන්වහන්සේ විසින් යක්ෂාත්මයන් සත් දෙනකු දුරු කරන ලද තැනැත්තිය ය.#16:9 පැරණි ඇතැම් මුල් පිටපත්වල 9–20 දක්වා පද ඇතුළත් වී නැත. 10මරියා ගොස්, කලින් උන්වහන්සේ සමඟ සිටියවුන් අඬා වැලපෙමින් සිටියදී ඒ වග කීවා ය. 11එහෙත්, උන්වහන්සේ ජීවත් ව සිටින බවත්, ඈ උන්වහන්සේ දුටු බවත් ඇසූ ඔවුන් එය විශ්වාස කළේ නැත.
12මේ දේවලට පසු ඔවුන්ගෙන් දෙදෙනෙක් ගම් පෙදෙසට යද්දී, උන්වහන්සේ වෙනත් ස්වරූපයකින් ඔවුන්ට පෙනුණු සේක. 13ඔවුන් ආපසු පැමිණ, අනෙක් අයට කී නමුදු ඔවුන් කී දේ ද ඔවුන් විශ්වාස කළේ නැත.
14පසුව එකොළොස් දෙනා කෑමට හාන්සි වී සිටියදී, උන්වහන්සේ ඔවුන්ට පෙනී, ඔවුන්ගේ විශ්වාසය නැතිකම හා සිත් දැඩිකම ගැන ඔවුන්ට තරවටු කළ සේක. මන්ද උන්වහන්සේ නැගිටුණු පසු, උන්වහන්සේ දුටු අය කී දේ ඔවුන් විශ්වාස කළේ නැති බැවිනි.
15ඉන්පසු උන්වහන්සේ ඔවුන් අමතා, “ලෝකය පුරා ගොස් සකල මැවිල්ලට ම ශුභාරංචිය ප්‍රකාශ කරන්න. 16අදහා ගන්නා වූ, බව්තීස්ම කරනු ලබන්නා වූ කවුරුන් වුවත් ගලවනු ලබන්නේ ය. එහෙත් අදහා ගන්නේ නැති කවුරුන් වුවත් වරදට පත් කරනු ලබන්නේ ය. 17අදහන්නන් සමඟ පවතින ලකුණු මෙසේ ය; මගේ නාමයෙන් ඔවුන් යක්ෂාත්මයන් දුරු කරනු ඇත; අලුත් භාෂාවලින් කතා කරනු ඇත. 18ඔවුන් තම අත්වලින් සර්පයින් අල්ලා ගනු ඇත; ඔවුන් මරණීය විස පානය කළත් ඔවුන්ට එයින් කිසිදු අනතුරක් වන්නේ නැත; ඔවුන් රෝගීන් පිට අත් තබනු ඇත; එවිට ඔවුන් සුවය ලබනු ඇතැ” යි පැවසූ සේක.
19යේසුස් ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ කතා කොට නිම වූ පසු, ස්වර්ගයට ඔසවා ගනු ලැබූ සේක්, දෙවියන්වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක. 20ඉන්පසු ගෝලයෝ පිට වී ගොස්, හැම තැන ශුභාරංචිය දේශනා කළහ. ස්වාමින්වහන්සේ ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ලකුණු අනුසාරයෙන් පණිවුඩය සහතික කළ සේක.

Vurgu

Paylaş

Karşılaştır

Kopyala

None

Önemli anlarınızın tüm cihazlarınıza kaydedilmesini mi istiyorsunuz? Kayıt olun ya da giriş yapın

මාර්ක් 16 için video