උත්පත්ති 25
25
ආබ්‍රහම්ගේ මරණය
1ආබ්‍රහම් තවත් භාර්යාවක පාවාගත්තේ ය. ඇගේ නම කෙතුරා ය. 2ඈ ඔහුට සිම්රාන්, යොක්ෂාන්, මෙදාන්, මිදියන්, ඉෂ්බාක් හා ෂූවා බිහි කර දුන්නා ය. 3යොක්ෂාන්ගේ පුත්තු: ෂෙබා හා දෙදාන්. අෂූරිවරුන්, ලෙටූෂිවරුන් හා ලෙයුම්මිවරුන් පැවත එන්නේ දෙදාන්ගෙනි. 4මිදියන්ගේ පුත්‍රයෝ: ඒෆා, ඒෆෙර්, හනොක්, අබිදා හා එල්දායා ය. මේ සියල්ලෝ කෙතුරාගේ දරු පරපුර ය.
5ආබ්‍රහම් තමා සතු ව තිබූ සියල්ල ඊසාක්ට දුන්නේ ය. 6එහෙත් තමා ජීවත් ව සිටියදී ආබ්‍රහම් තම අතිරේක භාර්යාවන්ගේ පුතුන්ට තෑගි-බෝග දී, තම පුත් ඊසාක් වෙතින්, නැගෙනහිර දේශයට ඔවුන් පිටත් කර යැවී ය.
7ආබ්‍රහම් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය හැත්තෑපහකි. 8ආබ්‍රහම් වියපත් මිනිසකු ව, දීර්ඝායු විඳ, හොඳ මහලු වයසේ අවසන් හුස්ම හෙළා, මියැදුණේ ය. මිය ගිය ඔහුගේ ජනයා අතරට ඔහු එක්කරන ලද්දේ ය. 9ඔහුගේ පුතුන් වූ ඊසාක් හා ඉෂ්මායෙල් මම්රේ අසල පිහිටි හිත්තීය සොහර්ගේ පුත් එෆ්‍රොන්ගේ ඉඩමේ වූ මක්පේලා ගුහාවෙහි ඔහු භූමදාන කළහ. 10එය හිත්තිවරුන්ගෙන් ආබ්‍රහම් මිල දී ගෙන තිබූ ඉඩම ය. එහි ඔහුගේ බිරිඳ, සාරා පසෙක ආබ්‍රහම් භූමදාන කෙරිණි. 11ආබ්‍රහම්ගේ මරණින් පසු, දෙවියන්වහන්සේ ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ට ආශිර්වාද කළ සේක. එකල ඊසාක් වාසය කළේ බෙයර් ලහායි-රොයී අසල ය.
ඉෂ්මායෙල්ගේ පුත්තු
12සාරාගේ දාසිය වූ ඊජිප්තියානු හාගර් ආබ්‍රහම්ට බිහි කර දුන් ආබ්‍රහම්ගේ පුත් ඉෂ්මායෙල්ගේ පෙළපත මෙසේ ය;
13ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ නම්: උපන් අනු පිළිවෙළට අනුව:
ඉෂ්මායෙල්ගේ කුලුඳුලා නෙබායොත්,
ඊළඟට කේදාර්, අද්බෙයෙල්, මිබ්සාම්,
14මිෂ්මා, දූමා, මස්සා,
15හදද්, තේමා, යෙටූර්,
නාෆීෂ් හා කේදෙමා ය.
16ඉෂ්මායෙල්ගේ පුත්‍රයෝ ඔවුහු ය. තවද ඔවුන්ගේ වාස භූමි හා ජනපද කඳවුරුවලට අනුකූලව ඔවුන්ගේ දොළොස් ගෝත්‍ර අධිපතීන්ගේ නාම ද ඒවා ය.
17ඉෂ්මායෙල් ජීවත් වූ මුළු කාලය අවුරුදු එකසිය තිස්හතකි. ඔහු අවසන් හුස්ම හෙළා, මියැදුණේ ය. ඔහුගේ ජනයා අතරට ඔහු එක්කරන ලද්දේ ය. 18ඔහුගෙන් පැවත එන්නෝ, ඊජිප්තුවට පෙරදිගින් දේශ සීමාවට නුදුරින් අෂ්ෂූර් දෙසට හවීලා පටන් ෂූර් දක්වා වූ පෙදෙස්හි පදිංචි වූහ. ඔවුහු තම සියලු සහෝදරයින්ට එදිරි ව#25:18 එදිරි ව නොහොත් ප්‍රති විරුද්ධ දිශාවේ වාසය කළහ.
යාකොබ් හා ඒසව්
19ආබ්‍රහම්ගේ පුත් ඊසාක්ගේ පෙළපත මෙසේ ය;
ආබ්‍රහම්, ඊසාක්ගේ පියා විය. 20ඊසාක්, රෙබෙකා ආවාහ කොට ගන්නා විට, හතළිස් වන වියෙහි පසු විය. ඈ, පදන්-අරාම්හි අරාම් ජාතික බෙතුවෙල්ගේ දියණිය ද අරාම් ජාතික ලාබාන්ගේ සහෝදරිය ද වූවා ය.
21ඇය වඳ ස්ත්‍රියක වූ බැවින්, ඊසාක් තම බිරිඳ උදෙසා ස්වාමින්වහන්සේට යාච්ඤා කළේ ය. ස්වාමින්වහන්සේ ඔහුගේ යාච්ඤාව ඇසූ නිසා, ඔහුගේ බිරිඳ රෙබෙකා ගැබ් ගත්තා ය. 22ළදරුවෝ ඇගේ කුස තුළ එකිනෙකා හා පොර අල්ලන්නට වූහ. “ඒ එසේ නම්, මට මෙසේ වන්නේ මන්දැ?” යි ඈ ඇසුවා ය. එබැවින් ඈ ස්වාමින්වහන්සේගෙන් විචාරන්නට ගියා ය.
23එවිට ස්වාමින්වහන්සේ,
“ජාතීන් දෙකක් ඔබ කුස තුළ වෙති.
ජනයින් දෙවර්ගයක් ඔබ තුළින් බෙදී යනු ඇත.
එක් ජනතාවක් අනෙකට වඩා ප්‍රබල වනු ඇත.
වැඩිමලා බාලයාට මෙහෙ කරනු ඇතැ” යි ඇයට පැවසූ සේක.
24ඇගේ ප්‍රසව කාලය එළැඹි කල, ඇගේ කුසෙහි නිවුන් දරු දෙදෙනෙක් වූහ. 25මුලින් ම උපන්නා පැහැයෙන් රතු ය. ඔහුගේ මුළු ගතම ලොම් රෙද්දක් වැන්න. එබැවින් ඔවුහු ඔහුට ඒසව්#25:25 ඒසව් එනම් ලෝම සහිත යැයි නම් තැබූහ. 26ඉන්පසු ඔහුගේ සහෝදරයා බිහි වූයේ ය. ඔහු ඒසව්ගේ විලුඹ තම අතින් ග්‍රහණයෙන් ගෙන සිටියේ ය. එබැවින් ඔහුට යාකොබ්#25:26 යාකොබ් එනම් විලුඹ අල්ලා ගන්නා එනම් වංචා කරන්නා යන නම තැබිණ. රෙබෙකා මොවුන් බිහි කරන කල, ඊසාක් හැටවන වියෙහි පසු විය.
27දරුවන් වැඩුණු පසු, ඒසව් දක්ෂ දඩයක්කරුවෙක් විය; බැද්දේ මිනිසෙක් විය. එහෙත් යාකොබ් කූඩාරම් ඇසුරෙහි විසූ නිශ්චල මිනිසෙක් විය. 28දඩමස් ප්‍රිය කළ ඊසාක් ආදරය කළේ ඒසව්ට ය. එහෙත් රෙබෙකා යාකොබ්ට ආදරය කළා ය.
29දිනක් යාකොබ් ව්‍යංජනයක් පිසිමින් සිටියදී, ඒසව් බැද්දේ සිට හාමත් ව ආවේ ය. 30ඔහු යාකොබ් අමතමින්, “හනිකට ඔය රතු පාට ව්‍යංජනයෙන් ටිකක් මට දෙන්න. මා හාමතේ” යි කී ය. ඒදොම්#25:30 ඒදොම් එනම් රතු පාට නමින් ඔහු අමතනු ලබන්නේ එබැවිනි.
31එහෙත් යාකොබ්, “පළමු කොට ඔබේ ජන්ම උරුමය මට විකුණන්නැ” යි කීවේ ය.
32එවිට ඒසව්, “හාමතේ මා මැරෙන්නට යද්දී, ජන්ම උරුමයෙන් මට ඇති සෙත කුමක් දැ?” යි කීවේ ය.
33එහෙත් යාකොබ්, “පළමු කොට මට දිවුරන්නැ” යි කීවේ ය. එවිට ඒසව් තම ජන්ම උරුමය විකුණමින්, දිවුරුමක් මගින් ඔහුට ශපථ කළේ ය.
34එවිට යාකොබ් රොටි ද කොල්ලු ව්‍යංජන ද ඒසව්ට දුන්නේ ය. ඔහු කා, බී, නැගිට ඉවත් ව ගියේ ය.
එලෙස ඒසව් තම ජන්ම උරුමය සුළු කොට තැකුවේ ය.
Seçili Olanlar:
උත්පත්ති 25: SCV
Vurgu
Paylaş
Kopyala
Önemli anlarınızın tüm cihazlarınıza kaydedilmesini mi istiyorsunuz? Kayıt olun ya da giriş yapın
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.