උත්පත්ති 23
23
සාරාගේ මරණය
1සාරා එකසිය විසිහත් අවුරුද්දක් ජීවත් වූවා ය. ඒ ඇගේ ආයු කාලයයි. 2ඈ, කානාන් දේශයේ කිර්යත්-අර්බාහි දී (ඒ හෙබ්‍රොන් ය) මියැදුණා ය. ආබ්‍රහම්, සාරා උදෙසා ශෝක වන්නටත්, වැලපෙන්නටත් ගියේ ය.
3ඉන්පසු තම මළ තැනැත්තිය අබියසින් නැගී සිටි ආබ්‍රහම්, හිත්තිවරුන් ඇමතී ය. 4“මා ඔබ අතරේ වෙසෙන ආගන්තුක විදේශිකයෙක්; සොහොන් පොළක් පිණිස මට මෙහි ඉඩම් කැබැල්ලක් දෙන්න. එවිට මට මගේ මළවුන් වැළලිය හැකි” යි කීවේ ය.
5හිත්තිවරු, ආබ්‍රහම්ට පිළිතුරු දෙමින්, 6“මැතිඳුනි, අප කියන දේ අහන්න. අප අතරේ ඔබ බලවත් අධිපතියෙක්; ඔබේ මිය ගිය ඇත්තී අපේ හොඳ ම සොහොනේ වළලන්න. අපෙන් කිසි කෙනකු තම සොහොනෙහි ඔබේ මිය ගිය ඇත්තී වැළලීම ප්‍රතික්ෂේප කරන්නේ නැතැ” යි කීහ.
7එවිට ආබ්‍රහම් නැගිට, දේශ වාසී ඒ හිත්තිවරුන්ට හිස නමා, ආචාර කොට, 8ඔවුන් අමතමින්, “මගේ මිය ගිය ඇත්තිය වැළලීමට ඔබ ඉඩ හරින්නේ නම්, මට සවන් දෙන්න; මා උදෙසා සොහර්ගේ පුත් එෆ්‍රොන්ට කතා කරන්න. 9ඔහුගේ ඉඩම කෙළවර පිහිටි ඔහුට අයිති මක්පේලා ගුහාව මට දෙන්නැයි කියන්න. ඔබ අතරේ සොහොන් පොළක් සඳහා එහි මුළු වටිනාකමට එය මට විකුණන ලෙස ඔහුට කියන්නැ” යි පැවසී ය.
10එෆ්‍රොන් ද හිත්තිවරුන් අතරේ වාඩි වී සිටියේ ය. නගර දොරටුව#23:10 නගර දොරටුව එනම් නගර දොරටු ප්‍රජා පොළ වෙත පැමිණ සිටි සෙසු සියලු හිත්තිවරුන් අසා සිටියදී, ආබ්‍රහම් ඇමතූ හිත්තීය එෆ්‍රොන්, 11“එසේ නො වෙයි, මා මැතිඳුනි, මට සවන් දෙන්න: ඒ ඉඩම මම ඔබට දෙන්නම්; එහි පිහිටි ගුහාවත් දෙන්නම්; මා එය ඔබට දෙන්නේ මගේ මේ ජනයා ඉදිරිපිටදී; ඔබේ මළ තැනැත්තිය වළලන්නැ” යි කීවේ ය.
12එවිට දේශයේ ජනතාවට යළිත් හිස නවා, ආචාර කළ ආබ්‍රහම් 13ඔවුන් අසා සිටියදී එෆ්‍රොන් ඇමතුවේ ය. “ඔබ කැමති නම්, මට සවන් දෙන්න. ඉඩමේ මිල මම ගෙවමි. මගෙන් එය පිළිගන්න; එවිට මගේ මළ තැනැත්තිය එහි වළලන්නට මට පුළුවනැ” යි කීවේ ය.
14එෆ්‍රොන්, ආබ්‍රහම්ට පිළිතුරු දෙමින්, 15“මා කියන දේ අහන්න, මා මැතිඳුනි, ඉඩමේ වටිනාකම රිදී ෂෙකෙල් හාර සියයයි; එහෙත් මාත්, ඔබත් අතරේ එය කිමෙක් ද? ඔබේ මළ තැනැත්තිය එහි වළලන්නැ” යි කීවේ ය.
16එෆ්‍රොන්ගේ මිල ගණනට එකඟ වූ ආබ්‍රහම්, හිත්තිවරුන් අසා සිටියදී එෆ්‍රොන් සඳහන් කළ මිලය වූ රිදී ෂෙකෙල් හාරසියය එකල වෙළඳ ගනුදෙනුවලදී වලංගු පිළිවෙළට එෆ්‍රොන්ට ගෙවී ය.
17මෙසේ මම්රේ අසල මක්පේලාහි එෆ්‍රොන්ගේ ඉඩම, එහි පිහිටි ගුහාව හා ඉඩමේ මායිම් ඇතුළත සියලු ගහ කොළ ද 18නගර දොරටුව වෙත පැමිණ සිටි සියලු හිත්තිවරුන් ඉදිරිපිටදී, ආබ්‍රහම්ගේ නිත්‍යානුකූල අයිතියට පත් විණ. 19ඉන් අනතුරුව ආබ්‍රහම්, කානාන් දේශයේ හෙබ්‍රොන්හි මම්රේ අසල මක්පේලා ඉඩමේ පිහිටි ගුහාවෙහි තම බිරිඳ වූ සාරා භූමදාන කළේ ය. 20එබැවින්, එම ගුහාව සහිත ඉඩම සොහොන් පොළක් වශයෙන් හිත්තිවරුන් විසින් ආබ්‍රහම්ට පවරා දෙන ලදී.
Seçili Olanlar:
උත්පත්ති 23: SCV
Vurgu
Paylaş
Kopyala
Önemli anlarınızın tüm cihazlarınıza kaydedilmesini mi istiyorsunuz? Kayıt olun ya da giriş yapın
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.