නාහුම් 3

3
අහෝ නිනිවය!
1ලේ තැවරුණු පුරයට දුක්-විපත් වේ!
සියල්ල බොරුවෙන් හා
කොල්ලකෑමෙන් පිරුණු,
කොල්ලකෑමෙන් නිමක් නැති පුරය!
2කස පුපුරන හඬ ය;
රෝද කැරකෙන කර-කර හඬ ය;
පිම්මේ දුවන අශ්වයින් ය;
පැද්දී දිවෙන යුද්ධ රථ ය;
3කඩා පනින අශ්ව බළඇණි ය;
ලෙළ දෙන අසිපත් ය;
දිළිසෙන තෝමර ය;
මරා දැමුණු, ගොඩ ගොඩවල් ය;
මළමිනි කඳු ය;
ගණන් නැති මළ කඳන් ය;
ඔවුහු මළ කඳන් නිසා පැකිළී, පැකිළී වැටෙති.
4මේ සියල්ල මන්ත්‍රකාර ස්වාමි දූ වන
මෝහනීය වෙසඟනගේ රාගික වේශ්‍යාකම් නිසා ය.
ඈ තම වේශ්‍යාකමින් ජාතීන් ද
තම මායා බන්ධනයෙන් ජනයා ද තම වසඟයට ගත්තා ය.
5“බලනු! මම නුඹට විරුද්ධ යැ” යි සේනාංකවල ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක:
“මම නුඹේ වස්ත්‍රය නුඹේ මුහුණට ම ඔසවා,
නුඹේ නිරුවත ජාතීන්ට ද
නුඹේ ලජ්ජා නැතිකම රට රාජ්‍යවලට ද පෙන්වන්නෙමි.
6මම නුඹ පිට කැත-කුණු දමා ගසා,
නුඹ පිළිකුලට ලක්කර,
නුඹ කෝලමක් කරන්නෙමි.
7එවිට නුඹ දකින සියල්ලෝ නුඹ වෙතින් පලා දුවමින්,
‘නිනිවය ජරාවාස වෙලා ය. කවුරුන් ඇය ගැන වැලැපේදෝ’ යි කියති.
ඔබ සනසන්නට කෙනකු මා කොහෙන් සොයන්නදෝ?”
8තමන් වටා ජල කඳක් ඇති ව,
නයිල් ගං පිට සිටින
තීබ්ස්ට#3:8 හෙබ්‍රෙව් නෝ-ආමොන් වඩා නුඹ අගේ ද?
ගංගාව, ඇගේ ආරක්ෂාව විය.
ජල කඳ, ඇගේ පවුර විය.
9කූෂ් ඇගේ ශක්තිය විය. එසේ ම ඊජිප්තුව ඇගේ අසීමිත ශක්තියයි.
පූට් හා ලිබියානුවන් ඇගේ මිත්‍ර පාක්ෂිකයන් විය.
10එසේ වුව ද, ඈ වහල්කමට ගෙන යනු ලැබුවා ය.
ඈ රටින් පිට මං ව ගියා ය.
ඇගේ අත දරුවෝ පවා
වීදි ඉද්දර පොළොවේ ගසනු ලැබුවෝ ය.
ඇගේ උත්තමයින්ට පස ඇට දමනු ලැබී ය.
ඇගේ ශ්‍රේෂ්ඨ මිනිසුන් සැවොම යදමින් බඳිනු ලදහ.
11නුඹත් වෙරිමත් වනු ඇත.
නුඹ සැඟවී ගොස්,
සතුරාගෙන් ආරක්ෂාව ඉල්ලනු ඇත.
12නුඹේ සියලු බළකොටු
කලින් ඉදුණු පල සහිත අත්තික්කා ගස් වැන්න.
ඒවා සොලවනු ලැබූ කල,
එහි පල කා දමන්නාගේ මුව තුළට වැටෙනු ඇත.
13අන්න! නුඹේ හේවාපන්න දෙස බලනු.
උන් සියල්ලෝ ගැහැණු ය.
නුඹේ දේශයේ දොරටු
නුඹේ සතුරන්ට මුළුමනින් ම විවර ව තිබේ.
ඒවායේ දොරගුළු ගිනිබත් වනු ඇත.
14වටලනු ලැබීමට පෙර ජලය ඇද ගන්න.
ආරක්ෂාව තරකර ගන්න.
මැටි පාගා,
බදාම අනා,
ගඩොල් නිමැවුම් අලුත්වැඩියා කරන්න.
15එහිදී ගින්න නුඹ දවා දමනු ඇත.
අසිපත නුඹ කපා හෙළනු ඇත.
පනින-පළඟැටියන් මෙන් නුඹ කා දමනු ඇත.
පනින-පළඟැටියන් මෙන් වැඩි වර්ධන වනු!
පළඟැටියන් මෙන් වැඩි වර්ධන වනු!
16අහසේ තරුවලට වැඩියෙන්
නුඹ නුඹේ වෙළඳුන් වැඩි කර ගෙන ඇත;
එහෙත් ඔවුන් පළඟැටියන් මෙන්
නුඹේ දේශය උළා කා ඉගිළ යනු ඇත.
17නුඹේ මුරකරුවන් පළඟැටියන් වැන්න.
නුඹේ නිලධාරීන්
සීතල දවස්හි තාප්ප මත ගැවසී සිට,
හිරු පෑයූ කල ඉවත ඉගිළ යන පළඟැටි සේනා වැන්න.
උන් කොහේ ගියාදැයි කිසිවකු නො දනී.
18එම්බා අසිරියාවේ රජ, නුඹේ එඬේරු නිදා වැටෙති.
නුඹේ උත්තමයෝ වැතිරී හොවති.
නුඹේ ජනයා කඳුවල විසුරුවනු ලැබ ඇත.
ඔවුන් එක් රැස් කරන්නට කිසිවකු නැත.
19නුඹේ තුවාල සුව කළ හැකි පිළියමක් නැත.
නුඹේ තුවාල මාරාන්තික ය.
නුඹ ගැන පුවත් අසන සියල්ලෝ,
නුඹේ වැටීම ගැන අත්පොළසන් දෙති.
මන්ද තොරක් නැති නුඹේ කෲරකම්වලින්
බේරී සිටියෝ කවරහු ද?

ప్రస్తుతం ఎంపిక చేయబడింది:

නාහුම් 3: SCV

హైలైట్

షేర్ చేయి

సరిపోల్చండి

కాపీ

None

మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి