හොෂෙයා 11
11
දේව ප්‍රේමය
1ඉශ්‍රායෙල්, දරුවකු ව සිටියදී, මම ඔහුට ප්‍රේම කළෙමි.
මම මගේ එම පුතණුවන් ඊජිප්තුවෙන් කැඳවා ගතිමි.
2එහෙත් ඔවුන් කැඳවනු ලැබීම වැඩි වූ කල,
ඔවුහු තව තවත් ඈත් වූහ.
ඔවුහු බාල් දෙවිවරුන්ට යාග පූජා ඔප්පු කරමින්,
පිළිම රූපවලට සුවඳ දුම් දැවූහ.
3එනමුත් එප්‍රායිම්ට ඇවිදින්න ඉගැන්වූයේ මම ය.
මම ඔවුන් අත්වලින් අල්ලාගෙන ගියෙමි.
එහෙත් ඔවුන් සුව කළේ මා වග
ඔවුන් දන්නේ නැත.
4මානව දයාවේ රැහැනින් හා සෙනෙහසේ බැම්මෙන් බැඳී,
මම ඔවුන්ට මග පෙන්වීමි;
මම ඔවුන්ගේ කර මතින් වියගහ උස්සා,
ඔවුන්ට කවනු-පොවනු පිණිස,
පහතට නැමුනෙමි.
5ඔවුන් ආපසු ඊජිප්තු දේශයට නො යනු ඇත් ද?
අසිරියාව ඔවුන්ගේ රජු නො වනු ඇත් ද?
මන්ද මා වෙත ආපසු ඒම ඔවුන් ප්‍රතික්ෂේප කර ඇත.
6අසිපත ඔවුන්ගේ නගරවලට එරෙහිව වියරු වී,
ඔවුන්ගේ දොරටුවල අගුල් බිඳ,
ඔවුන්ගේ සැලසුම් වනසාලනු ඇත.
7මවෙතින් ඉවත හැරීමට මගේ ජනයා යොමු වී ඇත.
ඔවුන් මහෝත්තමයාණන්ට හඬ ගැසුව ද,
ඔවුන් එසවීමේ අදහසක් උන්වහන්සේ තුළ නැත.
8“එම්බා එප්‍රායිම්, මම කෙලෙස නුඹ අත්හරිම් ද?
එම්බා ඉශ්‍රායෙල්, මම කෙලෙස නුඹ බාර දෙම් ද?
අද්මා නුවරට කළ දේ මම කෙලෙස නුඹට කරම් ද?
නුඹට සෙබොයිම් නුවර පරිදි කරන්නේ කෙසේ ද?
මගේ හදවත මා තුළෙහි තෙත් වේ:
මගේ අනුකම්පාව උණුසුම් ව නැග ඒ.
9මගේ රුදුරු කෝපය මා ක්‍රියාවට නංවන්නේ නැත;
යළි මා එප්‍රායිම් විනාශ කරන්නේ නැත.
මන්ද මම දෙවියන්වහන්සේ ය; මා මිනිසකු නො වේ.
ඔබ අතරේ සිටින ශුද්ධ තැනැත්තාණෝ ය.
මම උදහසින්#11:9 උදහසින් හෙවත් මම ඔවුන්ගේ පුරවරවලට එරෙහිව නො පැමිණෙන්නෙමි. නො පැමිණෙන්නෙමි.
10ඔවුන් ස්වාමින්වහන්සේ පසු පස යනු ඇත.
උන්වහන්සේ සිංහයකු සේ ගර්ජනා කරන සේක.
උන්වහන්සේ ගර්ජනා කරන කල,
උන්වහන්සේගේ දරුවෝ බටහිර සිට වෙවුලමින් එන්නෝ ය.
11ඔවුන් වෙවුලමින් එන්නේ,
ඊජිප්තුවේ සිට එන පක්ෂීන් ලෙසිනි;
අසිරියාවේ සිට එන පරෙවියන් ලෙසිනි.
මම ඔවුන්ගේ ම ගෙවල ඔවුන් යළි පදිංචි කරවන්නෙමි” යි
ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.
ඉශ්‍රායෙලයේ පාපය
12එප්‍රායිම් බොරුවලින් ද
ඉශ්‍රායෙල් වංශය ප්‍රයෝගයෙන් ද මා වට කළෝ ය.
එහෙත් යූදා, ශුද්ධ තැනැත්තාණන්ට විශ්වසනීය ව
දෙවියන්වහන්සේ සමඟ තවමත් ගමන් කරයි.
ప్రస్తుతం ఎంపిక చేయబడింది:
හොෂෙයා 11: SCV
హైలైట్
షేర్ చేయి
సరిపోల్చండి
కాపీ
మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.