හොෂෙයා 10
10
1ඉශ්‍රායෙල්, අතු පැතිරෙන මිදි වැලකි.
ඔහු තමන්ට ම පල උපදවා ගත්තේ ය.
ඔහුගේ පල වැඩි වෙත් ම,
ඔහු වඩ වඩා පූජාසන ඉදි කළේ ය.
ඔහුගේ දේශය සඵල වෙත් ම,
ඔහු තම පූජනීය ගල්-කණු ද වැඩි කර ගත්තේ ය.
2ඔවුන්ගේ හදවත් රැවටිලිකාරී ය;
ඔවුන් දැන් තමන්ගේ අපරාධය දැරිය යුතු ය.
ස්වාමින්වහන්සේ ඔවුන්ගේ පූජාසන බිඳ හෙළා,
ඒ පූජනීය ගල්-කණු විනාශ කරන සේක.
3එවිට ඔවුන් මෙසේ කියනු ඇත: “අපට රජෙක් නැත්තේ,
ස්වාමින්වහන්සේට අප භය නො වූ බැවිනි;
ඇරත් රජකු සිටියා වුව ද,
අප වෙනුවෙන් ඔහුට කළ හැකි ව ඇත්තේ කුමක් ද?”
4ඔවුන් හිස් වචන දොඩති;
හිස් දිවුරුම් කරමින්,
ගිවිසුම් ගසති;
එබැවින්, සී-සෑ කුඹුරක විස වල් පැළ සේ,
නඩු හබ පැන නැගේ.
5බෙත්-ආවෙන්හි වහු-පිළිමය ගැන
සමාරියේ ජනයා වෙවුලති.
එහි ජනයා ඒ ගැන ශෝක වෙති;
එහි ප්‍රතිමාවල පූජකයෝ ද වැලපෙති.
ඒ, එය ගැන, එහි තේජස ගැන ප්‍රීති වුව ද
ඒවා ඔවුන් කෙරෙන් බැහැර වූ නිසා ය.
6එය ගෙන යනු ලබන්නේ අසිරියාවට ය.
මහ රජුට කප්පමක් වශයෙනි.
එප්‍රායිම් අවමානයට පත් කරනු ලැබේ.
ඉශ්‍රායෙල්, එහි අඥාන ප්‍රතිපත්ති නිසා, ලජ්ජාවට පත් වේ.
7දියේ පාවෙන ලී පතුරක් සේ,
සමාරියේ රජු වැනසී යයි.
8ඉශ්‍රායෙලයේ පාපය වූ,
දුෂ්ටකමේ#10:8 දුෂ්ටකමේ හෙබ්‍රෙව් ආවෙන්හි උස් තැන් පුදසුන් විනාශ කෙරේ:
කටු ගොකටු පඳුරු වැවී,
ඔවුන්ගේ පුදසුන් වසා ගනී.
එවිට ඔවුහු කඳුවලට කතා කොට, “අප වසා ගනු” කියා ද
හෙල්වලට කතා කොට, “අප පිට වැටෙනු” කියා ද කියනු ඇත.
9එම්බා ඉශ්‍රායෙල්, ගිබෙයාහි දවස්වල පටන් ඔබ පවෙහි ගැලිණි.
එහිදී ඔබ එක දිගට ම එසේ ය.
ගිබෙයාහි නපුර කරන්නන් පිට
යුද්ධය නො පැමිණ තියේ ද?
10මා කැමති වූ කල, මම ඔවුන් හික්ම වන්නෙමි.
ඔවුන් ම ද්විත්ව පාපයට බැඳුණු කල,
ජාතීහු ඔවුන්ට එරෙහිව රැස් වෙති.
11එප්‍රායිම් මැඩීමට රිසි පුහුණු කරන ලද එළනෑම්බියකි.
මම ඇගේ ශෝභන ගෙල මත වියගහ තබන්නෙමි.
මම එප්‍රායිම් දක්කන්නෙමි.
යූදා සී-සෑ යුතු ය.
යාකොබ් බිම් කෙටිය යුතු ය.
12ඔබ උදෙසා ධර්මිෂ්ඨකම වපුරා,
නොමියෙන ප්‍රේමයේ පල නෙළා ගන්න;
පුරන් වූ ඔබේ වගා-බිම හාන්න.
උන්වහන්සේ පැමිණ,
ඔබ පිට ධර්මිෂ්ඨකම වස්සවන තෙක්,
ස්වාමින්වහන්සේ සොයන්නට කාලයයි මේ.
13එහෙත් ඔබ පැළ කළේ දුෂ්ටකම ය;
කපා ගත්තේ නපුර ය.
අනුභව කළේ රැවටිල්ලේ පලය ය.
එසේ වූයේ ඔබේ ම ශක්තිය පිට හා
බොහෝ වූ ඔබේ රණවිරුවන් මත ඔබ රඳා සිටි නිසා ය.
14මවුවරුන් සහ දරුවන් පොළොවේ ගසද්දී,
සංග්‍රාම දවසේ ෂල්මන්, බෙත්-අර්බේල් පුර විනාශ කළ පරිදි, ඔබගේ සියලු ම
බළකොටු විනාශ කරන පිණිස,
යුද්ධ ඝෝෂාව ඔබේ ජනයාට එරෙහිව නැගී එනු ඇත.
15එම්බා බෙතෙල්, ඔබේ දුෂ්ටකම ඒ සා මහත් බැවින්
නුඹටත් සිදු වන්නේ එපරිදි ම ය.
ඒ දවස උදා වේ.
ඉශ්‍රායෙලයේ රජවරු සපුරාම විනාශ කර දමනු ලබන්නෝ ය.
ప్రస్తుతం ఎంపిక చేయబడింది:
හොෂෙයා 10: SCV
హైలైట్
షేర్ చేయి
సరిపోల్చండి
కాపీ
మీ పరికరాలన్నింటి వ్యాప్తంగా మీ హైలైట్స్ సేవ్ చేయబడాలనుకుంటున్నారా? సైన్ అప్ చేయండి లేదా సైన్ ఇన్ చేయండి
Holy Bible, Sinhala Contemporary Version™ | © 1980, 1991, 1994, 2011, 2020, 2025 by Biblica, Inc. | Used with permission. All rights reserved worldwide.