ගීතාවලිය 139:1-17
ගීතාවලිය 139:1-17 සිංහල කාලීන පරිවර්තනය (SCV)
අහෝ ස්වාමින්වහන්ස, ඔබ මා සෝදිසි කළ සේක්, මා කවුරුන්දැයි දැනගත් සේක. මගේ හිඳගැනීමත්, මගේ නැගිටීමත් දන්නා ඔබවහන්සේ, මගේ සිතුම් පැතුම්, දුර තියාම වටහා ගන්නා සේක. මගේ පිටත් ව යෑම් හා මගේ විවේක ගැනීම් ගැන විමසිල්ලෙන් සිටින ඔබ, මගේ මුළු ජීවිත රටාව ගැන මැනවින් දන්නා සේක. මගේ දිව අගට වචනයක් නැගෙන්නටත් පෙර, අහෝ ස්වාමින්වහන්ස, ඔබ මුළුමනින් ම එය දන්නා සේක. පසුපසින් ද ඉදිරියෙන් ද මා වටලාගෙන ඇති ඔබ, ඔබගේ හස්තය මා පිට තබා ඇත. එබඳු දැනගැන්ම මගේ වටහා ගැනීම ඉක්මවා යයි; මට ළඟා විය නො හැකි තරමට එය උසස් ය. ඔබගේ ආත්මය වෙතින් මට බැහැර ව ගිය හැක්කේ කොතැනකට ද? ඔබ අබියසින් මට පලා යා හැක්කේ කොතැනකට ද? ස්වර්ගයට මා නැග ගියහොත්, ඔබත් එහි සිටී; මා ෂෙයෝලයේ සැතපුණත්, ඔබත් එතැන සිටී. අරුණැල්ලේ පියාපත් පිට මා නැගිටුන ද මහ සයුරේ දුර කෙළවරේ පදිංචි වුණ ද එහිදී පවා ඔබගේ හස්තය මට මග පෙන්වන්නේ ය; ඔබගේ දකුණු අත, තදින් මා අල්ලා ගන්නේ ය. “අඳුර සැබවින් ම මා සඟවා ගනීවි; මා වටා ඇති එළිය අඳුරට හැරේවි” යි මා කීවත්, අඳුර පවා ඔබට අඳුරක් නො වේ; රාත්‍රිය, ඔබ හමුවේ දහවල මෙන් බබළයි. මන්ද අන්ධකාරය හා ආලෝකය අතර වෙනසක් ඔබට නැත. මගේ අභ්‍යන්තර කොටස් නිමැවූයේ ඔබ ය. මගේ මව් කුස තුළ මා හැඩගැස්සුවේ ඔබ ය. මහා භයානක ලෙසත්, පුදුමාකාර ලෙසත් මා තනා ඇති බැවින් මම ඔබට ප්‍රශංසා කරමි. ඔබගේ වැඩ පුදුමාකාර ය; මගේ ජීවය හොඳින් ඒ වග දනී. රහසේ මා සැදුම් ලබන කල, පොළෝ ගැඹුරේ දුරවබෝධ ව මා නිර්මිත වන කල, මගේ සැකිල්ල ඔබගෙන් සැඟවී තිබුණේ නැත. මගේ රූපකාය සෑදෙන්නටත් පෙර, ඔබගේ ඇසට මා පෙනුණි; මා උදෙසා නිර්මිත දවස් ගණන, ඒ එකකුදු උදාවන්නටත් පෙර, ඔබගේ පොතේ ලියනු ලැබිණ. ඔබගේ සිතුවිලි මට කොතරම් අනර්ඝ ද! අහෝ දෙවියන්වහන්ස, ඒවායේ මුළු ගණන කොතරම් අපරිමිත ද!
ගීතාවලිය 139:1-17 Sinhala Revised Old Version (SROV)
ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක. මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය. ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක. මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි. ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්, අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!
ගීතාවලිය 139:1-17 Sinhala New Revised Version (NRSV)
සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක. මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක. පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත. මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය. ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද? මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය. “අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්, අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය. ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක. මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක. මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක. මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි. දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද? එහි අදහස් කොපමණ අසීමිත ද?
ගීතාවලිය 139:1-17 Sinhala New Revised Version 2018 (SNRV)
සමිඳාණන් වහන්ස, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක. මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක. පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත. මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය. ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද? මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය. “අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්, අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය. ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක. මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක. මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක. මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි. දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද? එහි අදහස් කොපමණ අසීමිත ද?
ගීතාවලිය 139:1-17 New International Version (NIV)
You have searched me, LORD, and you know me. You know when I sit and when I rise; you perceive my thoughts from afar. You discern my going out and my lying down; you are familiar with all my ways. Before a word is on my tongue you, LORD, know it completely. You hem me in behind and before, and you lay your hand upon me. Such knowledge is too wonderful for me, too lofty for me to attain. Where can I go from your Spirit? Where can I flee from your presence? If I go up to the heavens, you are there; if I make my bed in the depths, you are there. If I rise on the wings of the dawn, if I settle on the far side of the sea, even there your hand will guide me, your right hand will hold me fast. If I say, “Surely the darkness will hide me and the light become night around me,” even the darkness will not be dark to you; the night will shine like the day, for darkness is as light to you. For you created my inmost being; you knit me together in my mother’s womb. I praise you because I am fearfully and wonderfully made; your works are wonderful, I know that full well. My frame was not hidden from you when I was made in the secret place, when I was woven together in the depths of the earth. Your eyes saw my unformed body; all the days ordained for me were written in your book before one of them came to be. How precious to me are your thoughts, God! How vast is the sum of them!