ගීතාවලිය 139:1-17

ගීතාවලිය 139:1-17 SROV

ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක. ඔබ මාගේ හිඳීමද නැගිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි. ඔබ මාගේ ගමනත් සයනයත් විමසා බලනසේක, මාගේ සියලු මාර්ග දැනගෙන සිටින සේක. මක්නිසාද, ස්වාමීනි, ඔබ මුළුමනින්ම නොදන්නාවූ කිසි වචනයක් මාගේ දිවේ නැත්තේය. ඉදිරියෙන්ද පස්සෙන්ද ඔබ මා වටකරමින්, ඔබගේ හස්තය මා පිට තැබූසේක. මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි. ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද? මම ස්වර්ගයට නැගුණෙම් නුමුත් ඔබ එහිය. ෂෙයෝලෙහි මාගේ යහන පිළියෙළ කෙරෙම් නුමුත් ඔබ එහිය. මා අරුණු පියාපතින් ගොස් මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත්; එහිදීත් ඔබගේ හස්තය මට මගපෙන්වන්නේය, ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය. සැබවින් අන්ධකාරය මා වසාගන්නේය, මා වටකරින් වූ එළිය රාත්‍රිය වන්නේයයි කීයෙම් නුමුත්, අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි, රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය. මක්නිසාද ඔබ මාගේ හදවත හිමිකරගත්සේක. මාගේ මවු කුසෙහි මා වැසූසේක. මම ඔබට ස්තුතිකරන්නෙමි; මක්නිසාද මම භයානකලෙසත් පුදුම ලෙසත් සාදනලද්දෙමි. ඔබගේ කර්මාන්ත ආශ්චර්යමත්ය; මාගේ ආත්මයද ඒ බව මනාකොට දනියි. මා රහසින් මවනු ලැබ, පොළොවේ ගැඹුරු තැන්වල පුදුමාකාරයෙන් තනනු ලැබූ කල, මාගේ ශරීරරූපය ඔබගෙන් සැඟවී නොතිබුණේය. ඔබගේ ඇස්වලට මාගේ ශරීර ධාතුව පෙනුණේය, ඔබගේ පොතෙහි මාගේ සියලු අවයවයෝ ලියනලද්දෝය. ඒවායින් එකක්වත් නැති කල්හි දවසින් දවස ඒවා සාදනලද්දේය. දෙවියන්වහන්ස, ඔබගේ සිතිවිලි මට කොපමණ අනර්ඝද! ඒවායේ ගණන කොපමණ මහත්ද!

ගීතාවලිය 139:1-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය