ගීතාවලිය 139:1-17

ගීතාවලිය 139:1-17 NRSV

සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක. මාගේ ඉඳුම් හිටුම් සියල්ල ඔබ දන්න සේක. දුර තියා ම මාගේ සිතිවිලි ඔබ තේරුම්ගන්න සේක. මා ගමනක් ගියත්, නින්දට ගියත් ඔබ මාගේ සියලු මාර්ග දන්න සේක. මාගේ හැසිරීම සහමුලින් ම ඔබ දන්න සේක. මා මුවට වචනයක් එන්නටත් පෙර සමිඳුනි, එහි අග මුල ඔබ දන්න සේක. පෙර පසු යන දෙපසින් ම ඔබ මා වට කර ඇත. ඔබේ අත මා රැකගනු ඇත. මෙම ඥානය මාගේ දැනුම ඉක්මවා යයි. එය උසස් ය, මට ඊට ළඟාවිය නොහැකි ය. ඔබෙන් සැඟවී මම කොතැනට යම් ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලා යම් ද? මා ස්වර්ගයට නැඟුණත්, ඔබ එහි ය. පාතාලයට බැස සැතපුණත්, ඔබ එහි ය. මා නැගෙනහිරට ඉගිළී ගියත්, බටහිර මුහුදු සීමාන්තයේ විසුවත් එහිදීත් ඔබේ අත මට මඟ පෙන්වන්නේ ය. ඔබේ දකුණත මට පිහිට වන්නේ ය. “අඳුර මා වසාගනී වා! මා අවට පැතිරෙන එළිය අඳුරක් වේවා”යි මා කීවත්, අඳුර ඔබට අඳුරක් නොවේ; අඳුරත්, එළියත් ඔබට එක හා සමාන ය. ඔබ මාගේ ඇතුළාන්තය මැවූ සේක; මාගේ මවු කුසෙහි මා තැනූ සේක. මම ඔබට තුති පුදමි. මන්ද, මා ඔබට ගරුබිය දැක්විය යුතු ය. ඔබේ සියලු ක්‍රියා අසිරිමත් ය; ඔබ තරයේ මා දන්න සේක. මාගේ ඇටකටු සැදෙන විට, මවු කුසෙහි මා වැඩෙන විට, රහසිගත ව මා තැනෙන විට මා එහි වූ බව ඔබ දැන සිටි සේක. මා බිහි වන්නට පෙර ඔබ මා දුටු සේක. මාගේ දවස් පටන්ගන්නටත් පෙර මාගේ ආයු ඔබේ පොතෙහි සටහන් කර තිබිණි. දෙවිඳුනි, ඔබේ සිතුවිලි කොපමණ ගැඹුරු ද? එහි අදහස් කොපමණ අසීමිත ද?

ගීතාවලිය 139:1-17 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය