හිතෝපදේශ 12:1-18

හිතෝපදේශ 12:1-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ශික්ෂණයට ප්‍රේමවන්නා දැනුමට ප්‍රේම කරයි; නිවැරදිවීමට වෛරවන්නා මෝඩයෙකි. සුදනා ස්වාමින්වහන්සේගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් උන්වහන්සේ දුදනා වරදට පත් කරන සේක. දුෂ්ටකමින් කෙනකුට ස්ථාවර ව පිහිටා සිටින්නට බැරි ය. එහෙත් ධර්මිෂ්ඨයින් මුලිනුදුරා දැමිය නො හැකි ය. ගුණ යහපත් බිරිඳ ඇගේ සැමියාගේ ඔටුන්න ය; එහෙත් නින්දා සහගත බිරිඳ ඔහුගේ ඇටකටු දිරා-යෑමක් බඳු ය. දමිටුන්ගේ සැලසුම් යුක්ති සහගත ය; එහෙත් අදමිටුවකුගේ අවවාදය වංචා සහගත ය. දුෂ්ටයින්ගේ වචන ලේ හැලුමට මග රැක සිටීමකි; එහෙත් ඍජු ගති ඇත්තන්ගේ කතාව ජීවිත ගලවයි. දුෂ්ට මිනිස්සු පැරදී, නැත්තට ම නැති වී යති; එහෙත් ධර්මිෂ්ඨයින්ගේ වංශය, ස්ථාවර ව පිහිටයි. මිනිසකු තම විචක්ෂණ බුද්ධියට අනුව පැසසුම් ලබයි; එහෙත් වංක සිත් ඇත්තා පිළිකුලට ලක් වේ. ලොක්කකු සේ මවා පාමින් කන්නට යමක් නැතිව සිටිනවාට වඩා, නොවැදගතකු සේ සිටිමින්, තමන්ට ම සේවකයකු ඇති ව සිටීම වඩා හොඳ ය. දමිටු මිනිසා තම සතුන්ගේ ඕනෑ-එපාකම් ද බලයි; එහෙත් දුෂ්ට මිනිසකුගේ කාරුණික ක්‍රියා ද කුරිරු ය. තම බිම් කොටස වගාකරන්නාට ආහාර බහුල වේ; එහෙත් මවා ගත් හීන පසු පස යන්නෝ සිහි මද ඇත්තෝ ය. නපුරන්ගේ කොල්ලයට දුෂ්ටයෝ ආශා වෙති; එහෙත් දමිටුන් මුල් ඇද පිහිටයි. අදමිටු මිනිසා තම පාපී කතාවෙන් උගුලට හසු වේ; එහෙත් දමිටු මිනිසා කරදරවලින් ගැලවී යයි. කෙනෙක් තම තොල්වල පල නිසා යහ දෙයින් පිරෙන්නේ, ඔහුගේ අත්වල ශ්‍රමයට සරිලන ප්‍රතිඵල ලබන පරිදි ය. අඥානයකුට තමාගේ මාර්ගය හරියයි පෙනේ; එහෙත් නැණවතා අවවාදයට කන් දෙයි. අඥානයා තම නොරිස්සුම එවෙලේම පෙන්වයි; එහෙත් බුද්ධිමතා නිග්‍රහ ගණන් නො ගනී. ඇත්ත කතා කරන්නා අවංක ව සාක්ෂි දෙයි; බොරු සාක්ෂිකරු පවසන්නේ මුසා ය. නො සැලකිලිමත් වචන කඩු පහරක් මෙන් ඇනෙයි; එහෙත් ප්‍රඥාවත් අයගේ දිව, සුවය ගෙනේ.

හිතෝපදේශ 12:1-18 Sinhala Revised Old Version (SROV)

අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය. සත්පුරුෂයා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක. මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය. ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය. ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය. දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය. දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය. මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ. කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය. ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය. තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය. දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය. තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය. මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ. මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය. මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය. සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය. කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.

හිතෝපදේශ 12:1-18 Sinhala New Revised Version (NRSV)

අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි. සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක. දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත; එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය. ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි. දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය. දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි; එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි. දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති; එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි. මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි. පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි. දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය. වැර වීරියෙන් වගා කරන්නාට බතබුලත බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි. දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි; එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි. දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි. එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි; තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි. අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි. මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි. ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි. කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.

හිතෝපදේශ 12:1-18 Sinhala New Revised Version 2018 (SNRV)

අවවාදය පිළිගන්නා දැනුමට පෙම් කරන්නෙකි; එහෙත් තරවටුව නොඉවසන්නා මෝඩයෙකි. සත්පුරුෂයා සමිඳුන්ගෙන් ප්‍රසාදය ලබයි; එහෙත් දුෂ්ට උපා යොදන්නා එතුමාණෝ වරදට පත් කරන සේක. දුෂ්ටකමින් මිනිසෙකුට ස්ථිර ජීවිතයක් නැත; එහෙත් දැහැමියාගේ ගුණ කිසිදා මුලින් උදුරාදැමිය නොහැකි ය. ගුණසම්පන්න වනිතාව ඇගේ ස්වාමි පුරුෂයාට කිරුළකි; එහෙත් ඔහුට අවමන් ගෙන දෙන කාන්තාව ඔහුගේ ඇටකටුවලට පිළිකාවකි. දැහැමියන්ගේ අදහස් යුක්ති සහගත ය; දුෂ්ටයන්ගේ කුමන්ත්‍රණ වංචනික ය. දුෂ්ටයන්ගේ වචන මරණ උගුලකි; එහෙත් අවංක අයගේ බස් ගැළවීමකි. දුෂ්ටයෝ වැටී නැත්තට ම නැති වෙති; එහෙත් දැහැමියන්ගේ පරපුර සදහට ම පවතියි. මිනිසෙකුගේ ප්‍රඥාවේ තරමට ඔහු කීර්තිය ලබයි; එහෙත් වංක සිත අපකීර්තියට ලක් වෙයි. පුහු මානය සොයමින් කුසගින්නෙන් පෙළීමට වඩා චාම් ගතියෙන් ජීවිකාව ගෙන යෑම යෙහෙකි. දැහැමි අය සිය තිරිසන් සතුන්ගේ ප්‍රාණය ගැන සලකති; අදමිටු අය උන්ට ක්‍රෑරතර ය. වැර වීරියෙන් වගා කරන්නාට අහර බහුල ය; නිෂ්ඵල ව්‍යාපාරවල යෙදෙන්නා මෝඩයෙකි. දුෂ්ටයාගේ බලකොටුව මැටි පවුරක් මෙන් බිඳ වැටෙයි; එහෙත් දැහැමියන්ගේ පදනම් සදහට ම පවතියි. දුෂ්ටයාගේ මුසා බස් ඔහුට ම මලපතක් වෙයි; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් ජය ගනියි. එක් මිනිසෙක් සිය වදනින් සඵලවත් වෙයි; තව මිනිසෙක් තම ශ්‍රමයෙන් ප්‍රතිඵල ලබාගනියි. අනුවණයා තමා හරි යයි සැම විට ම සිතාගනියි; නුවණැත්තා ඔවා බසට සවන් දෙයි. මෝඩයා සිය කෝපය වහා පෙන්වයි; බුද්ධිමතා අපහාසය නොතකා හරියි. ඇත්ත කියන්නා සත්‍යය දක්වයි; බොරු සාක්ෂිකරු වංචාව ද දක්වයි. කේලාම් බස් කඩුපතක් මෙන් තුවාළ කරයි; නැණවතාගේ බස් සුව සෙත ගෙන දෙයි.

හිතෝපදේශ 12:1-18 New International Version (NIV)

Whoever loves discipline loves knowledge, but whoever hates correction is stupid. Good people obtain favor from the LORD, but he condemns those who devise wicked schemes. No one can be established through wickedness, but the righteous cannot be uprooted. A wife of noble character is her husband’s crown, but a disgraceful wife is like decay in his bones. The plans of the righteous are just, but the advice of the wicked is deceitful. The words of the wicked lie in wait for blood, but the speech of the upright rescues them. The wicked are overthrown and are no more, but the house of the righteous stands firm. A person is praised according to their prudence, and one with a warped mind is despised. Better to be a nobody and yet have a servant than pretend to be somebody and have no food. The righteous care for the needs of their animals, but the kindest acts of the wicked are cruel. Those who work their land will have abundant food, but those who chase fantasies have no sense. The wicked desire the stronghold of evildoers, but the root of the righteous endures. Evildoers are trapped by their sinful talk, and so the innocent escape trouble. From the fruit of their lips people are filled with good things, and the work of their hands brings them reward. The way of fools seems right to them, but the wise listen to advice. Fools show their annoyance at once, but the prudent overlook an insult. An honest witness tells the truth, but a false witness tells lies. The words of the reckless pierce like swords, but the tongue of the wise brings healing.