හිතෝපදේශ 12:1-18
හිතෝපදේශ 12:1-18 SROV
අවවාදයට ප්‍රේමකරන්නා දැනගැන්මට ප්‍රේමකරන්නේය; එහෙත් තරවටුවට ද්වේෂකරන්නා මෝඩයෙක්ය. සත්පුරුෂයා ස්වාමීන්වහන්සේගෙන් කරුණාව ලබයි; එහෙත් උන්වහන්සේ දුෂ්ට උපා යොදන්නා වරදට පත්කරනසේක. මනුෂ්‍යයෙක් දුෂ්ටකමෙන් ස්ථිර නොවන්නේය; එහෙත් ධර්මිෂ්ඨයාගේ මුල කිසි කලකත් නොසෙල්වෙන්නේය. ගුණවත් ස්ත්‍රියෙක් ඇගේ ස්වාමිපුරුෂයාට ඔටුන්නක්ය; එහෙත් ලජ්ජා උපදවන තැනැත්තී ඔහුගේ ඇටවල දිරවීමක් මෙන්ය. ධර්මිෂ්ඨයන්ගේ අදහස් යුක්තියට එකඟය; දුෂ්ටයන්ගේ මන්ත්‍රණ වංචාසහිතය. දුෂ්ටයන්ගේ වචන ලෙය ගැන රැකසිටීමක් වේ; එහෙත් අවංක අයගේ මුඛය ඔවුන් ගළවන්නේය. දුෂ්ටයෝ හෙළාදමනු ලැබ නැතිවන්නෝය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ පරම්පරාව පවතින්නේය. මනුෂ්‍යයෙක් තමාගේ ප්‍රඥාවේ හැටියට වර්ණනාකරනු ලැබේ; එහෙත් වංක සිතක් ඇත්තා හෙළාදකිනු ලැබේ. කෑම හිඟව ඉඳගනත් ගරුකම් කියාගන්නාට වඩා වැඩකාරයෙක් ඇති සුළු තැනැත්තා උතුම්ය. ධර්මිෂ්ඨයා තම තිරිසනාගේ ප්‍රාණය ගැන සලකන්නේය; එහෙත් දුෂ්ටයන්ගේ මෘදු අනුකම්පා කෲරය. තමාගේ බිම අස්වද්දන්නා කෑමෙන් සමෘද්ධියට පැමිණෙයි; එහෙත් නිෂ්ඵල තැනැත්තන් අනුව යන්නා තේරුම් නැති කෙනෙක්ය. දුෂ්ටයා නපුරන්ගේ දැල සොයන්නේය; එහෙත් ධර්මිෂ්ඨයන්ගේ මුල ඵලදෙන්නේය. තොල්වල අපරාධයෙහි දුෂ්ටයාට මලපතක් තිබේ; එහෙත් ධර්මිෂ්ඨයා විපතෙන් මිදෙන්නේය. මනුෂ්‍යයෙක් තමාගේ මුඛයේ ඵලය නිසා යහපතෙන් තෘප්තිමත්වන්නේය; මනුෂ්‍යයෙකුගේ දෑතේ ක්‍රියාවල ඵලයද ඔහුට දෙනු ලැබේ. මෝඩයාගේ මාර්ගය තමාගේ ඇස්වලට නම් හරිව පෙනෙන්නේය; එහෙත් ඥානවන්තයා දැනමිතිකම් අසන්නේය. මෝඩයාගේ කෝපවීම එවේලේම එළිදරව්වන්නේය; එහෙත් බුද්ධිමත් මනුෂ්‍යයා ලජ්ජාව සඟවාගන්නේය. සැබෑව කියන්නා ධර්මිෂ්ඨකමද බොරු සාක්ෂිකාරයා වංචාවද දක්වන්නේය. කඩුවෙන් අනින්නාක්මෙන් රළු බස් කීමක් තිබේ; එහෙත් ඥානවන්තයාගේ දිව සුවය හටගන්වන්නේය.


