යෙසායා 21:1-10

යෙසායා 21:1-10 සිංහල කාලීන පරිවර්තනය (SCV)

මුහුද අසබඩ කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයකි: දකුණු දේශය පිසදා හමන සුළි සුළං සේ, කාන්තාරය වෙතින්, භීතියේ දේශයක් වෙතින්, එය පැමිණෙයි. දැඩි දර්ශනයක් මට පවසන ලදී: ද්‍රෝහියා පාවා දෙයි. විනාශකයා විනාශ කරයි. එම්බා ඒලාම්, නැගිට යනු; එම්බා මේදියා, වටලා ගනිව්! ඇය හට ගැන් වූ සියලු සුසුම්ලෑම්, මම නිම කරන්නෙමි. එබැවින් මගේ තුනටිය සන්තාපයෙන් පිරී ඇත. ප්‍රසවයේදී කාන්තාවකගේ විලිරුදා බඳුව, මට වේදනා දෙයි. මට අසන්නට බැරි වන ලෙස මා පහතට නමා ඇත. මට දකින්නට බැරි වන ලෙස මා කලඹා ඇත. මගේ හද ගැස්සෙයි. භය මා වෙළාගෙන ඇත. මහත් ආශාවෙන් මා බලා සිටි සැඳෑ ගොම්මන, මට තැතිගැන්මක් වී ඇත. ඔවුහු අහර මේස පිළියෙල කරති, පලස් එළති. ඔවුහු කති; බොති. එම්බා අධිපතියනි, නැගී සිටිනු! පලිහ තෙල් ගල්වනු! ස්වාමින්වහන්සේ මට කීවේ මෙයයි: “ගොස්, නිරීක්ෂකයකු සිටුවන්න, ඔහු දකින දේ දන්වා වා. අශ්වාරෝහකයෙක්, අසු පිට යන්නන් යුගල වශයෙන් යන කල, බූරුවන් පිට යන්නවුන්, ඔටුවන් පිට යන්නවුන් ඔහු දකින කල, ඔහු අවධානයෙන් ඇහුම්කන් දෙත්වා; දැඩි අවධානයෙන්.” එවිට එය දුටු කෙනා මොර ගැසී ය. “මුර ටැඹෙහි මම සිටගන්නෙමි. අහෝ ස්වාමිනි, දහවල පුරා ම. සෑම රැයේ ම මගේ මුර පොළේ මම ස්ථානගත වන්නෙමි. අන්න බලන්න! අශ්වාරෝහකයෙක්. අසු පිට නැගුනවුන් දෙන්නා-දෙන්නා පැමිණෙති. ඔහු ප්‍රති උත්තර දෙමින්, ‘ඇද වැටිණි! බබිලෝනිය ඇද වැටිණි; එහි දෙවි-දේවතාවුන්ගේ පිළි රූ සියල්ල බිම වැටී, විසිරී ඇතැ’ යි” කීවේ ය. අහෝ මඩිනු ලැබූ, පොළනු ලද්දාණනි, සේනාංකවල ස්වාමින්වහන්සේගෙන්, ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන්, මා ඇසූ දෑ, මම ඔබට නිවේදන කරන්නෙමි.

යෙසායා 21:1-10 Sinhala Revised Old Version (SROV)

මුහුදු කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයය. දකුණු දිග සුළිහුළං ගසන්නාක්මෙන් ඒක භයානක දේශයක් වන කාන්තාරයෙන් එන්නේය. දුඃඛිත දර්ශනයක් මට ප්‍රකාශකරනලද්දේය; වංචාකාරයා වංචාකරන්නේය, නාස්තිකාරයා නාස්තිකරන්නේය. එම්බා ඒලාම්, නැගී යන්න; එම්බා මේදිය, වටලාගන්න; එහි සියලුම සුසුම්ලෑම් නැවැත්වීමි. එබැවින් මාගේ ඉඟටිය වේදනාවෙන් පිරී තිබේ; බිහිකරන ස්ත්‍රියෙකුගේ විළිරුජා මෙන් රුජා මට අල්ලා තිබේ. කන් නොඇසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැලඹී සිටිමි. මාගේ සිත තිගැස්සිවන්නේය, භයංකරය මා භයගැන්නෙවුවේය. මා ආශාවූ සැන්දෑ කාලය මට වෙවුලුම වී තිබේ. ඔව්හු මේසය සූදානම් කෙරෙති, මුර සිටුවති, කමින් බොමින් සිටිති. අධිපතිවරුනි, නැගිට පලිහ ආලේපකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ ගොස් මුරකාරයෙක් සිටවන්න; ඔහු දකින දේ දන්වාවා. ඔහු මෘගයන් පිට එනම් දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිටද කොටළුවන් පිටද මනුෂ්‍යයන් නැගී එනවා දකිනකල ඉතා ඕනෑකමින්ම ඇහුම්කන්දෙන්නේයයි කීසේක. ඔහු සිංහයෙකු මෙන් මොරගසා: ස්වාමීන්වහන්ස, මම මුරකොටුව උඩ දවාලේ නිතරම සිටිමි, රෑ මුළුල්ලේත් මාගේ මුරපළේ සිටිමි, අන්න, දෙන්න දෙන්න වශයෙන් අශ්වයන් පිට මනුෂ්‍යයෝ නැගී එතියි කීවේය. ඔහු උත්තරදෙමින්: බබිලෝනිය වැටුණාය, වැටුණාය; ඇගේ දෙවිවරුන්ගේ කැපූ රූප සියල්ලම කඩා බිමදමනලද්දේයයි කීවේය. අහෝ, මඩිනු ලැබූ මාගේ සෙනඟෙනි, මාගේ පාවරේ දරුවෙනි, ඉශ්‍රායෙල්ගේ දෙවිවූ සේනාවල ස්වාමීන්වහන්සේගෙන් මා ඇසූ දේ මම නුඹලාට දැන්නුවෙමි.

යෙසායා 21:1-10 Sinhala New Revised Version (NRSV)

බබිලෝනිය පිළිබඳ දේව ප්‍රකාශනය මෙසේ ය: කාන්තාරය හරහා හමන සුළි සුළඟක් සේ භයානක දේශයකින් විනාශය පැමිණෙන්නේ ය. කෲරතර සිද්ධීන් පිළිබඳ දර්ශනයක් මට ප්‍රකාශ කරන ලද්දේ ය. එය කොල්ලයත්, විනාශයත් පිළිබඳ දර්ශනයකි. ඒලාම් හමුදාවෙනි, පහර දෙව්! මේදිය හමුදාවෙනි, නගර වටලාගනිව්! බබිලෝනිය විසින් ඇති කරන ලද දුක් වේදනා දෙවිඳාණෝ කෙළවර කරන සේක. මා දුටු සිහිනය මාගේ සිතෙහි ඉමහත් භීතියක් ද ස්ත්‍රියකට ඇතිවන ප්‍රසව වේදනාව වැනි වේදනාවක් ද ඇති කර තිබේ. මම කන් නෑසෙන තරම් වේදනාවෙන් මිරිකී සිටිමි; ඇස් නොපෙනෙන තරම් කැළඹී සිටිමි. මාගේ හිස කරකැවේ; භීතියෙන් මම වෙවුළමි; සවස් වන තුරු මම බලාපොරොත්තුවෙන් බලා සිටිමි. එහෙත්, සවස් වූ විට ඇති වූයේ භීතිය පමණකි. භෝජන උත්සවයක් පිළියෙළ කරනු ලබන බවත්, අමුත්තන්ට අසුන් ගැනීමට බුමුතුරුණු තබන බවත්, ඔවුන් කමින් බොමින් සිටින බවත් ඒ දර්ශනයෙන් පෙනේ. එවිට හදිසියේ ම, “නිලධාරියෙනි නැඟිටින්න, නුඹලාගේ පලිස් සූදානම් කරන්නැ”යි ආඥාවක් නික්මේ. එවිට සමිඳාණෝ මට මෙසේ වදාළ සේක: “නුඹ ගොස් මුරකාරයෙකු තබා, ඔහු දකින දේ දන්වන්න කියා ඔහුට කියන්න. අසරුවන් දෙදෙන දෙදෙන බැගින් ද කොටළුවන් හා ඔටුවන් පිට යන මිනිසුන් ද ඔහු දුටුවොත්, එය සුපරීක්ෂාකාරීව නරඹන්න කියා ඔහුට කියන්න.” මුරකරුවා ද, “ස්වාමීනි, මම රෑ දාවල් දෙක්හි මුර පළේ සිටියෙමි”යි කෑ ගසා කියන්නේ ය. හදිසියේම අසරුවන් දෙදෙන දෙදෙන පිට සෙනඟ පැමිණෙති; මුරකරුවා ඒ පුවත පළ කරමින්, “බබිලෝනිය වැටිණි! බබිලෝනිය වැටිණි! ඇගේ දෙවිවරුන් වන කැපූ රූප සියල්ල ම කඩා බිඳදමන ලද්දේ ය”යි කියන්නේ ය. මාගේ ඉශ්රායෙල් සෙනඟෙනි, නුඹලා කමතේ ගොයම් මෙන් මඩිනු ලැබුවහු ය. එහෙත් දැන්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි වන සව් බලැති සමිඳුන්ගෙන් මා ඇසූ ශුභ අස්න මම නුඹලාට දැනුම් දෙන්නෙමි.

යෙසායා 21:1-10 Sinhala New Revised Version 2018 (SNRV)