යෙසායා 21

21
බබිලෝනියට එරෙහිව
1මුහුද අසබඩ කාන්තාරය ගැන දිව්‍ය ප්‍රකාශනයකි:
දකුණු දේශය පිසදා හමන සුළි සුළං සේ,
කාන්තාරය වෙතින්,
භීතියේ දේශයක් වෙතින්, එය පැමිණෙයි.
2දැඩි දර්ශනයක් මට පවසන ලදී:
ද්‍රෝහියා පාවා දෙයි. විනාශකයා විනාශ කරයි.
එම්බා ඒලාම්, නැගිට යනු; එම්බා මේදියා, වටලා ගනිව්!
ඇය හට ගැන් වූ සියලු සුසුම්ලෑම්, මම නිම කරන්නෙමි.
3එබැවින් මගේ තුනටිය සන්තාපයෙන් පිරී ඇත.
ප්‍රසවයේදී කාන්තාවකගේ විලිරුදා බඳුව, මට වේදනා දෙයි.
මට අසන්නට බැරි වන ලෙස මා පහතට නමා ඇත.
මට දකින්නට බැරි වන ලෙස මා කලඹා ඇත.
4මගේ හද ගැස්සෙයි.
භය මා වෙළාගෙන ඇත.
මහත් ආශාවෙන් මා බලා සිටි සැඳෑ ගොම්මන,
මට තැතිගැන්මක් වී ඇත.
5ඔවුහු අහර මේස පිළියෙල කරති,
පලස් එළති.
ඔවුහු කති; බොති.
එම්බා අධිපතියනි, නැගී සිටිනු!
පලිහ තෙල් ගල්වනු!
6ස්වාමින්වහන්සේ මට කීවේ මෙයයි:
“ගොස්, නිරීක්ෂකයකු සිටුවන්න,
ඔහු දකින දේ දන්වා වා.
7අශ්වාරෝහකයෙක්,
අසු පිට යන්නන් යුගල වශයෙන් යන කල,
බූරුවන් පිට යන්නවුන්,
ඔටුවන් පිට යන්නවුන් ඔහු දකින කල,
ඔහු අවධානයෙන් ඇහුම්කන් දෙත්වා;
දැඩි අවධානයෙන්.”
8එවිට එය දුටු කෙනා මොර ගැසී ය#21:8 දුටු කෙනා මොර ගැසී ය හෙබ්‍රෙව් සිංහයෙක් මොර ගැසී ය..
“මුර ටැඹෙහි මම සිටගන්නෙමි. අහෝ ස්වාමිනි, දහවල පුරා ම.
සෑම රැයේ ම මගේ මුර පොළේ මම ස්ථානගත වන්නෙමි.
9අන්න බලන්න! අශ්වාරෝහකයෙක්.
අසු පිට නැගුනවුන් දෙන්නා-දෙන්නා පැමිණෙති.
ඔහු ප්‍රති උත්තර දෙමින්,
‘ඇද වැටිණි! බබිලෝනිය ඇද වැටිණි;
එහි දෙවි-දේවතාවුන්ගේ පිළි රූ සියල්ල
බිම වැටී, විසිරී ඇතැ’ යි” කීවේ ය.
10අහෝ මඩිනු ලැබූ, පොළනු ලද්දාණනි,
සේනාංකවල ස්වාමින්වහන්සේගෙන්,
ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේගෙන්,
මා ඇසූ දෑ, මම ඔබට නිවේදන කරන්නෙමි.
ඒදොම්ට එරෙහිව
11දූමා ගැන දිව්‍ය ප්‍රකාශනයයි:
සේයිර්හි සිට කෙනෙක් මා අමතන්නේ ය.
“මුරකරුව, රැය කොතෙක් ගෙවී ගොසින් ද?
මුරකරුව, එය කොතෙක් ගෙවී ගොසින් ද?”
12මුරකරුවා පිළිතුරු දෙයි:
“උදෑසන පැමිණෙයි. රාත්‍රිය ද පැමිණෙයි.
ඔබට විමසන්නට ඕනෑ නම් විමසන්න;
යළි ආපසු එන්න.”
අරාබියට එරෙහිව
13අරාබිය ගැන දිව්‍ය ප්‍රකාශනය ය:
අරාබියේ වන ලැහැබ්හි ඔබ කඳවුරු ගසනු ඇත.
එම්බා දෙදාන් වැසියන්ගේ තවලම්කරුවනි,
14පිපාසිතයිනට වතුර ගෙනෙන්න;
එම්බා තේමා දේශයේ වෙසෙන්නෙනි,
පලායන්නවුනට රොටි ගෙන එන්න.
15මන්ද ඔවුන් පලා දුවන්නේ, අසිපත වෙතිනි;
එසැවුණු අසිපත වෙතිනි.
ඉලක්ක කර, නැවූ, දුන්න වෙතිනි.
යුද්ධයේ පීඩනය වෙතිනි.
16ස්වාමින් මට පවසන්නේ මෙයයි: “කුලී කම්කරුවකුගේ අවුරුදු ගණනට අනුව, එක් වසරක් ඇතුළත කේදාර්හි සකල විභූතිය නිමාවක් දකින්නේ ය. 17කේදාර් ජනයා වූ රණශූර දුනුවායින්ගෙන් ජීවත් ව ඉතිරි වනු ඇත්තේ ස්වල්ප දෙනෙකි.” මන්ද ඉශ්‍රායෙල්ගේ දෙවියන්වහන්සේ වන ස්වාමින්වහන්සේ එසේ පවසා ඇත.

දැනට තෝරාගෙන ඇත:

යෙසායා 21: SCV

සළකුණු කරන්න

බෙදාගන්න

පිටපත් කරන්න

None

ඔබගේ සියලු උපාංග හරහා ඔබගේ සළකුණු කල පද වෙත ප්‍රවේශ වීමට අවශ්‍යද? ලියාපදිංචි වී නව ගිණුමක් සාදන්න හෝ ඔබගේ ගිණුමට ඔබගේ ගිණුමට පිවිසෙන්න