උත්පත්ති 3:16-24

උත්පත්ති 3:16-24 සිංහල කාලීන පරිවර්තනය (SCV)

උන්වහන්සේ ස්ත්‍රිය ඇමතූ සේක්, “ගැබ් දැරීමේ නුඹේ වේදනා, මම බෙහෙවින් වැඩි කරන්නෙමි; වේදනාවෙන් යුතු ව, නුඹ දරුවන් බිහි කරනු ඇත. නුඹේ ආශාව, නුඹේ ස්වාමිපුරුෂයා උදෙසා ම වන්නේ ය. ඔහු, නුඹ පාලනය කරන්නේ යැ” යි පැවසූ සේක. උන්වහන්සේ ආදම්ට කතා කොට, “නුඹේ භාර්යාවට නුඹ සවන් දී, ‘එයින් ඔබ නො කෑ යුතු යැ’ යි මා නුඹට අණ කළ ගසින් කෑ බැවින්, “නුඹ නිසා භූමිය ශාප ලබයි; දිවි හිමියෙන් වෙහෙස මහන්සි ව, නුඹ එයින් අහර සපයා ගනියි. එය නුඹට කටු ගස් හා වල් පඳුරු උපදවා දෙයි. නුඹ බැද්දේ පැළෑටි අහරට ගනියි. නුඹ ගනු ලැබුවේ භූමියෙන් බැවින් භූමියට ම නුඹ හැරී යන තෙක්, නුඹේ ම දහඩිය මහන්සියෙන් නුඹේ අහර, නුඹ බුදිනු ඇත. මන්ද නුඹ දූවිල්ල ය; දූවිල්ලට ම නුඹ හැරී යන්නේ යැ” යි පැවසූ සේක. මනුෂ්‍යයා, තම භාර්යාවට ඒව යන නම තැබී ය. මන්ද ජීවත් වන සියල්ලන්ගේ මාතාව ඇය ය. ආදම් හා ඔහුගේ බිරිඳ සඳහා හම් වස්ත්‍ර සෑදූ ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, ඒවා ඔවුන්ට හැඳ වූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මෙන්න! හොඳ හා නරක දැනගැනීමෙන්, මනුෂ්‍යයා දැන් අපගෙන් කෙනකු හා සමාන බවට පත් ව සිටියි. ඊළඟට ඔහුගේ අත දිගු කොට, ජීවන වෘක්ෂයෙන් ද ගෙන, අනුභව කොට, ඔහු සදහට ම ජීවත් නො විය යුතු යැ” යි පැවසූ සේක. එබැවින්, භූමියෙන් ගනු ලැබූ මනුෂ්‍යයා, භූමිය වගා කරනු සඳහා ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් නෙරපා දැමූ සේක. එසේ මනුෂ්‍යයා පිට මං කළ පසු, ජීවන වෘක්ෂයට යන මාවත රැකවල්ලමින්, ඒදන් උයනට පෙරදිගින් කෙරුබ්වරුන් ද හැම අතට ම ලෙළ දෙන, ඇවිළෙන කඩුවක් ද උන්වහන්සේ තැබූ සේක.

උත්පත්ති 3:16-24 Sinhala Revised Old Version (SROV)

උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක. උන්වහන්සේ ආදම්ට කථාකොට: නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය; නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව යන නම තැබීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක. තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා, යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.

උත්පත්ති 3:16-24 Sinhala New Revised Version (NRSV)

උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.” තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.” මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක. එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක. මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක. මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.

උත්පත්ති 3:16-24 Sinhala New Revised Version 2018 (SNRV)

උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.” තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දූවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.” මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක. එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක. මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක. මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.