උත්පත්ති 3:16-24

උත්පත්ති 3:16-24 NRSV

උන් වහන්සේ ස්ත්‍රියට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹේ ගැබ් ගැනීමේ වේදනා මම බොහෝ සේ වැඩි කරන්නෙමි. විලි රුදා ඇති ව නුඹ දරුවන් ප්‍රසූත කරන්නෙහි ය. එහෙත්, නුඹේ දැඩි ආශාව සැමියා කෙරෙහි වන්නේ ය. ඔහු නුඹ පාලනය කරන්නේ ය.” තවද උන් වහන්සේ මිනිසාට ද කතා කොට මෙසේ වදාළ සේක: “භාර්යාවගේ වචනයට සවන් දී, ‘නොකෑ යුතු ය’යි මා තහනම් කළ ගසේ ගෙඩි කෑ බැවින්, නුඹේ මේ ක්‍රියාව නිසා පොළොවට සාප වේ වා! දිවි ඇති තාක් නුඹ වෙහෙස මහන්සි වී එයින් ආහාර ලබාගන්නෙහි ය; පොළොවේ නුඹට කටු පඳුරු ද වල් පැලෑටි ද උපදින්නේ ය, නුඹට වනයේ පලා කන්නට සිදු වන්නේ ය. භූමියෙන් වූ නුඹ, යළි භූමියට යන තෙක්, ඩහදිය මහන්සියෙන් අහර උපයන්නෙහි ය. දුවිල්ලෙන් වූ නුඹ දූවිල්ලට ම යන්නෙහි ය.” මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි. දෙවි සමිඳාණන් වහන්සේ හම් වස්ත්‍ර සාදා ආදම්ට සහ ඔහුගේ භාර්යාවට හැඳවූ සේක. එවිට දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “හොඳ-නරක අවබෝධ වීම නිසා දැන්, මිනිසා ද අපෙන් කෙනෙකු හා සමාන වී ඇත. එබැවින් ජීවන වෘක්ෂයට අත පා, එයින් වළඳා සදහට ම ජීවත් වීමට ඔහුට ඉඩ නොදිය යුතු ය”යි වදාළ සේක. මෙසේ කියා, භූමියෙන් වූ ඔහු භූමිය වගා කරන පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා ඒදන් උයනින් නෙරපා දැමූ සේක. මෙසේ උන් වහන්සේ, මිනිසා පලවා හැර, ඒදන් උයනට පෙරදිගින්, කෙරුබ්වරුන් තැබූ සේක. තවද, ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල් කරනු පිණිස සෑම අතට කරකැවෙන, ගිනි විහිදුවන කඩුවක් ද තැබූ සේක.