උත්පත්ති 3:16-24
උත්පත්ති 3:16-24 SROV
උන්වහන්සේ ස්ත්‍රියට කථාකොට: නුඹේ ශෝකය හා ගැබ්ගැනීම බොහෝසෙයින් වැඩිකරන්නෙමි; නුඹ වේදනා සහිතව දරුවන් වදන්නීය; නුඹේ ආශාව නුඹේ පුරුෂයා කෙරෙහි වන්නේය; ඔහු නුඹ කෙරෙහි බලපවත්වන්නේයයි කීසේක. උන්වහන්සේ ආදම්ට කථාකොට: නුඹේ භාර්යාවගේ හඬට ඇහුම්කන්දී නොකන්ට මා අණකළ ගහෙන් කෑ බැවින් නුඹ නිසා භූමිය ශාපලද්දීය; නුඹේ ජීවිතයේ සියලු දවස්වලම නුඹ වෙහෙසින් යුක්තව එයින් කන්නෙහිය; එය නුඹට කටුද ගොකටුද උපදවන්නේය; නුඹ වනයේ පලා කන්නෙහිය; නුඹ භූමියෙන් ගන්නාලද බැවින් එයට හැරී යනතෙක් නුඹේ මුහුණේ ඩහදියෙන් යුක්තව කෑම කන්නෙහිය; මක්නිසාද නුඹ දූවිලිය, දූවිල්ලට හැරී යන්නෙහියයි කීසේක. මනුෂ්‍යයා තමාගේ භාර්යාව ජීවමාන සියල්ලන්ගේ මවු හෙයින් ඈට ඒව යන නම තැබීය. ස්වාමිවූ දෙවියන්වහන්සේ ආදම්ට සහ ඔහුගේ භාර්යාවට සම්වලින් ඇඳුම් සාදා ඇන්දවූසේක. තවද ස්වාමිවූ දෙවියන්වහන්සේ: බලව, මනුෂ්‍යයා යහපත හා නපුර දැනගැනීමට අපගෙන් කෙනෙකු මෙන් වුණේය. දැනුදු ඔහු තමාගේ අත දිගුකොට ජීවන වෘක්ෂයෙනුත් ගෙන කා සදාකාලයටම ජීවත්නොවන පිණිසය කියා, යම් භූමියකින් ඔහු ගන්නාලදද එය වවන පිණිස ස්වාමිවූ දෙවියන්වහන්සේ ඒදන් උයනෙන් ඔහු පිටකළසේක. මෙසේ උන්වහන්සේ මනුෂ්‍යයා පිටතට එළවා ජීවන වෘක්ෂයට යන මාර්ගය රැකවල්කරන පිණිස ඒදන් උයනට නැගෙනහිරෙන් කෙරුබ්වරුන්ද හැම අතටම කරකැවෙන්නාවූ ගිනිමයවූ කඩුවක්ද පිහිටෙවූසේක.


