උත්පත්ති 2:4-20

උත්පත්ති 2:4-20 සිංහල කාලීන පරිවර්තනය (SCV)

අහස් හා පොළොව මවනු ලැබූ කල්හි ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොව හා අහස් තැනූ කාලයේ ඒවායේ පරම්පරා පුවත මෙසේ ය. කිසි ශාක-පඳුරක් තවම පොළොවේ නො තිබිණ. යම් පැළෑටියකුදු හටගෙන නො තිබිණි. මන්ද ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පොළොවට වැසි එවා තිබුණේ නැති බැවිනි. භූමිය වගා කිරීමට කිසි මනුෂ්‍යයකු ද නො වී ය. එහෙත් මීදුමක් පොළොවෙන් පැන නැගී, මුළු මිහිතලය ම තෙත් කරවී ය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා නිර්මාණ කොට, ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. එවිට මනුෂ්‍යයා ජීවමාන පුද්ගලයෙක් විය. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ පෙරදිග, ඒදන්හි උයනක් වවා තිබූ සේක්, උන්වහන්සේ නිර්මාණ කළ මනුෂ්‍යයා එහි පිහිටූ සේක. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ, දැකීමට ප්‍රිය වූත්, අහරට සුදුසු වූත් සියලු ගස් වැල් පොළොවෙන් හට ගැන් වූ සේක. උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ හා නරක නිශ්චය කිරීමේ ගස ද විය. උයන සරු කරනට ඒදන් සිට ගංගාවක් ගලා ගොස්, එතැන් පටන් හතර අතකට බෙදී ගියේ ය. පළමුවැන්නේ නම පීෂොන් ය. රත්රන් ඇති මුළු හවීලා දේශය වටා ගලා යන්නේ එයයි. ඒ දේශයේ රත්රන් හොඳ ය. දුර්ලභ සුවඳ දුම්මල ද ගෝමේද මැණික් ද එහි වෙයි. දෙවැනි ගංගාවේ නම ගීහොන් ය. මුළු කූෂ් දේශය වටා එය ගලා බසී. තෙවැනි ගංගාවේ නම ටයිග්‍රිස් ය. අසිරියා දේශයේ පෙරදිග ඔස්සේ ගලා යන්නේ එයයි. හතරවැන්න යුප්‍රටීස් ගංගාවයි. ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයා ගෙන, ඒදන් උයන වගා කිරීමටත්, එය බලා ගැනීමටත් ඔහු එහි පදිංචි කර වූ සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥා කරමින්, “උයනේ ඕනෑ ම ගසකින් නිදහසේ කෑමට ඔබට පුළුවන. එහෙත් හොඳ හා නරක නිශ්චය කිරීමේ ගසින් ඔබ නො කෑ යුතු ය. එයින් කෑ දවසේ ඒකාන්තයෙන් ම ඔබ නසිනු ඇතැ” යි කී සේක. ඉන්පසු ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ කතා කොට, “මනුෂ්‍යයා තනි ව සිටීම හොඳ නැත. ඔහුට ගැළපෙන සහකාරියක සාදා දෙන්නෙමි” යි කී සේක. එකල ස්වාමින්වහන්සේ වන දෙවියන්වහන්සේ භූමියෙන් නිමවා තිබූ සියලු වන සතුන් ද අහස්හි සියලු පක්ෂීන් ද මනුෂ්‍යයා කෙසේ උන් නම් කරන්නේදැයි බලනු පිණිස, මනුෂ්‍යයා වෙත උන් ගෙන ආ සේක. මනුෂ්‍යයා කවර නමකින් ඒ ඒ සජීවී සතුන් ඇමතුවේ ද, ඒවා උන්ගේ නාම බවට පත් විය. මෙසේ, ගව-මහීෂාදී ඇති කරන සතුන් සියල්ලනට ද අහස් පක්ෂීන් හා සියලු වන සතුනට ද මනුෂ්‍යයා නම් දුන්නේ ය. එහෙත් ආදම්ට ගැළපෙන සහකාරියක හමු වුණේ නැත.

උත්පත්ති 2:4-20 Sinhala Revised Old Version (SROV)

ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය. ඒ තාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගාකරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය. එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක. දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය. පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය; ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය. දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කුෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය; අෂුර් දේශය ඉස්සරහින් ගලායන්නේ ඒකය. සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක. ‍ ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය.

උත්පත්ති 2:4-20 Sinhala New Revised Version (NRSV)

අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය. දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය. එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය. දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දුවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය. දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පලදෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. උයනින් පිටත දී එය අතු ගංගා සතරකට බෙදිණි. පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය. ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවුවා ය.

උත්පත්ති 2:4-20 Sinhala New Revised Version 2018 (SNRV)

අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය. දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය. එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය. දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය. දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. එතැනින් එය අතු ගංගා සතරකට බෙදිණි. පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය. ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවූවා ය.

උත්පත්ති 2:4-20 New International Version (NIV)

This is the account of the heavens and the earth when they were created, when the LORD God made the earth and the heavens. Now no shrub had yet appeared on the earth and no plant had yet sprung up, for the LORD God had not sent rain on the earth and there was no one to work the ground, but streams came up from the earth and watered the whole surface of the ground. Then the LORD God formed a man from the dust of the ground and breathed into his nostrils the breath of life, and the man became a living being. Now the LORD God had planted a garden in the east, in Eden; and there he put the man he had formed. The LORD God made all kinds of trees grow out of the ground—trees that were pleasing to the eye and good for food. In the middle of the garden were the tree of life and the tree of the knowledge of good and evil. A river watering the garden flowed from Eden; from there it was separated into four headwaters. The name of the first is the Pishon; it winds through the entire land of Havilah, where there is gold. (The gold of that land is good; aromatic resin and onyx are also there.) The name of the second river is the Gihon; it winds through the entire land of Cush. The name of the third river is the Tigris; it runs along the east side of Ashur. And the fourth river is the Euphrates. The LORD God took the man and put him in the Garden of Eden to work it and take care of it. And the LORD God commanded the man, “You are free to eat from any tree in the garden; but you must not eat from the tree of the knowledge of good and evil, for when you eat from it you will certainly die.” The LORD God said, “It is not good for the man to be alone. I will make a helper suitable for him.” Now the LORD God had formed out of the ground all the wild animals and all the birds in the sky. He brought them to the man to see what he would name them; and whatever the man called each living creature, that was its name. So the man gave names to all the livestock, the birds in the sky and all the wild animals. But for Adam no suitable helper was found.