උත්පත්ති 2:4-20

උත්පත්ති 2:4-20 SROV

ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොවත් අහසත් සෑදූ දවසෙහි, ඒවා මවනලද කාලයෙහි, අහසෙත් පොළොවෙත් මුල් ප්‍රවෘත්තිය මේය. ඒ තාක් කල් වනයේ කිසි ගසක් පොළොවෙහි නොතිබුණේය, වනයේ කිසි පලා ජාතියක්ද හටනොගත්තේය. මක්නිසාද ස්වාමිවූ දෙවියන්වහන්සේ පොළොව පිට වර්ෂාව නොවස්වා තිබුණු නිසාය. භූමිය වගාකරන පිණිස මනුෂ්‍යයෙක්ද නොසිටියේය. එහෙත් මීදුමක් පොළොවෙන් නැගී මුළු භූමිතලය තෙමුවේය. ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියේ දූවිල්ලෙන් මනුෂ්‍යයා සාදා ඔහුගේ නාස්පුඩු තුළට ජීවනයේ හුස්ම හෙළූසේක; එවිට මනුෂ්‍යයා ජීවමාන ප්‍රාණයක් විය. ස්වාමිවූ දෙවියන්වහන්සේ නැගෙනහිර දිශාවෙහි, ඒදන්හි, උයනක් වවා තමන් සෑදූ මනුෂ්‍යයා එහි සිටෙවූසේක. දැකීමට ප්‍රියවූ කෑමට හොඳවූ සියලු ගස්ද උයන මැද ජීවන වෘක්ෂයද යහපත හා නපුර දැනගැනීමේ ගහද ස්වාමිවූ දෙවියන්වහන්සේ භූමියෙන් හටගැන්වූසේක. උයන තෙමන පිණිස ඒදනෙන් ගංගාවක් නික්ම ගියාය; එය එතැනින් බෙදී ගංගා සතරක් විය. පළමුවෙනි ගංගාවේ නම පීෂොන්ය; එය නම් රත්රන් ඇති මුළු හවීලා දේශය වටේට ගලායන එකය; ඒ දේශයේ රත්රන් හොඳය. බෙදොලඃද වෛදූර්යද එහි ඇත්තේය. දෙවෙනි ගංගාවේ නම ගීහොන්ය; මුළු කුෂ් දේශය වටේට වැටී තිබෙන්නේ ඒකය. තුන්වෙනි ගංගාවේ නම හිද්දෙකෙල්ය; අෂුර් දේශය ඉස්සරහින් ගලායන්නේ ඒකය. සතරවෙනි ගංගාව ප්‍රාත්ය. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයා රැගෙන ඒදන් උයන වවන්ටත් බලාගන්ටත් එහි පදිංචිකෙරෙවූසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ මනුෂ්‍යයාට ආඥාකරමින්: නුඹට උයනේ සියලු ගස්වලින් කැමති ලෙස කන්ට පුළුවන; එහෙත් යහපත හා නපුර දැනගැනීමේ ගහෙන් කන්ට එපාය; මක්නිසාද එයින් කෑ දවසෙහි ඒකාන්තයෙන් නුඹ නසින්නෙහියයි කීසේක. ‍ ස්වාමිවූ දෙවියන්වහන්සේ කථාකොට: මනුෂ්‍යයා තනියම සිටීම හොඳනැත; ඔහුට සුදුසු සහකාරියක් සාදාදෙන්නෙමියි කීසේක. ස්වාමිවූ දෙවියන්වහන්සේ වනයේ සියලු මෘගයන්ද ආකාශයේ සියලු පක්ෂීන්ද භූමියෙන් සාදා මනුෂ්‍යයා උන්ට මොන මොන නම් තබන්නේදැයි බලන පිණිස උන් ඔහු වෙතට පැමිණෙවූසේක. මනුෂ්‍යයා සියලු ජීවමාන සත්වයන්ට තැබූ නම් උන්ගේ නාමයෝ වූහ. මනුෂ්‍යයා සියලු සිව්පාවුන්ටත් ආකාශයේ පක්ෂීන්ටත් වනයේ සියලු මෘගයන්ටත් නම් තැබීය; එහෙත් මනුෂ්‍යයාට සුදුසු සහකාරියක් සම්බනොවීය.

මෙයට අදාළ වීඩියෝ