උත්පත්ති 2:4-20

උත්පත්ති 2:4-20 SNRV

අහසත් පොළොවත් මැවීමේ පුවත එසේ ය. දෙවි සමිඳාණන් වහන්සේ අහස හා පොළොව මවන විට පොළොවෙහි හටගත් පැළෑටියක් වත්, පැලවුණු බීජයක් වත් නො වී ය. එසේ වූයේ දෙවි සමිඳාණන් වහන්සේ පොළොව පිට වැස්ස නොඑවූ නිසාත්, භූමිය වගා කිරීමට කිසිවෙකු නොසිටි නිසාත් ය. එහෙත් පොළොවෙන් ජලය මතු වී භූමි තලය පුරා ගලා ගියේය. දෙවි සමිඳාණන් වහන්සේ පොළොවේ දූවිල්ලෙන් මනුෂ්‍යයා මවා ඔහුගේ නාස් පුඩු තුළට ජීවන හුස්ම හෙළූ සේක. මෙසේ මනුෂ්‍යයා ජීවමාන කෙනෙක් විය. දෙවි සමිඳාණන් වහන්සේ පූර්ව දිශාවේ, ඒදන්හි උයනක් තනා තමන් මැවූ මනුෂ්‍යයා එහි පිහිටෙවු සේක. තවද, උන් වහන්සේ දැකුම්කලු, ප්‍රණීත පල දෙන සියලු ගස් ද උයන මැද ජීවන වෘක්ෂය ද හොඳ-නරක අවබෝධ කිරීමේ ගස ද භූමියෙන් හටගන්නට සැලැසූ සේක. උයනට ජලය සැපයීම සඳහා ඒදන් ප්‍රදේශයෙන් ගඟක් ගලා ගියේය. එතැනින් එය අතු ගංගා සතරකට බෙදිණි. පළමු වන අතු ගංගාවේ නම පිෂොන් ය; මුළු හවීලා පෙදෙස වටා ගලා යන ගංගාව එය වේ; ඒ පෙදෙසෙහි රත්රන් ඇත. එහි ඇති රත්රන් අමිශ්‍ර ය; ගන්ධරස හා නඛමාණික්‍ය ද එහි ඇත. දෙ වන අතු ගංගාවේ නම ගීහොන් ය; එය මුළු කූෂ් ප්‍රදේශය වටා ගලා යයි. තෙ වන අතු ගංගාවේ නම ටයිග්‍රීස් ය; එය අෂුර් දේශයට පෙරදිගින් ගලා බසියි. සතර වන අතු ගංගාව යුප්‍රටීස් ය. ඒදන් උයන වගා කර එය රැක බලා ගැනීම පිණිස දෙවි සමිඳාණන් වහන්සේ මිනිසා රැගෙන ඔහු එහි පදිංචි කරවූ සේක. තවද, උන් වහන්සේ මිනිසාට අණ කරමින්, “උයනේ සියලු ම ගස්වලින් ගෙඩි කෑමට නුඹට නිදහස ඇත. එහෙත්, හොඳ-නරක අවබෝධ කිරීමේ ගසින් පමණක් නොකෑ යුතු ය; නුඹ යම් දවසක ඒ ගසින් කන්නෙහි ද ඒ දවසෙහි මරණය නුඹට ඒකාන්ත ය”යි වදාළ සේක. පසුව දෙවි සමිඳාණන් වහන්සේ කතා කොට, “මිනිසා තනි ව විසීම සුදුසු නැත; ඔහුට සුදුසු සහකාරියක මවා දෙන්නෙමි”යි වදාළ සේක. මෙසේ උන් වහන්සේ භූමියෙන් වනයේ සියලු සතුන් ද අහසේ සියලු පක්ෂීන් ද මැවූ සේක. ඉන්පසු මිනිසා උන්ට කුමන නම් තබන්නේ දැ යි බලනු පිණිස උන් මිනිසා වෙත ගෙනා සේක. මිනිසා එක එකාට තැබූ නාම, උන්ගේ නාම විය. මෙසේ මිනිසා සියලු ගවමහිෂයන්ට ද අහසේ පක්ෂීන්ට ද සියලු මෘගයන්ට ද නම් තැබී ය. එහෙත්, ඔහුට සුදුසු සහකාරියක් නොවූවා ය.

මෙයට අදාළ වීඩියෝ