නික්මයාම 14:8-23

නික්මයාම 14:8-23 සිංහල කාලීන පරිවර්තනය (SCV)

ස්වාමින්වහන්සේ ඊජිප්තු රජු වූ පාරාවෝගේ හද දැඩි කළෙන්, එඩිතර ව ගමනේ යෙදුණු ඉශ්‍රායෙල්වරුන් පසු පස ඔහු හඹා ගියේ ය. පාරාවෝගේ සියලු අශ්වයින් හා අස්රිය ද ඔහුගේ අසරුවන් හා ඔහුගේ හමුදාව ද යන ඊජිප්තුවරු, ඉශ්‍රායෙල්වරුන් ලුහුබැඳ ගියෝ, බාල්-සෙෆොන් අබියස පී-හහිරොත් අසල මුහුද අද්දර කඳවුරු ලා සිටි ඔවුන්ට කිට්ටු කළෝ ය. පාරාවෝ ළං වෙත් ම, ඉශ්‍රායෙල් ජනයා හැරී බැලූ කල, මෙන්න! ඔවුන් දුටුවේ තමන් පසු පස පෙරට ඇදෙන ඊජිප්තුවරුන් ය. ඉන් මහත් භයට පත් ඔවුහු, ස්වාමින්වහන්සේට මොර ගසන්නට වන්හ. ඔවුහු මෝසෙස් අමතමින්, “නුඹ මේ කාන්තාරයේ මැරී යන්නට අප ගෙන ආවේ ඊජිප්තුවේ මිනීවළවල් නැති නිසා ද? ඊජිප්තුවෙන් පිටට අප ගෙන ඒමෙන්, නුඹ අපට මේ කර ඇත්තේ කුමක් ද? ‘අපට ඉන්නට හරින්න. ඊජිප්තුවරුන්ට මෙහෙ කරන්නට ඉඩ දෙන්නැයි ඊජිප්තුවේදී අප නුඹට කීවේ මෙනිසා නො වේ ද?’ මේ කාන්තාරයේ නැසී යනවාට වඩා ඊජිප්තුවරුන්ට මෙහෙ කරමින් සිටියා නම් අපට හොඳ යැ” යි කීහ. එහෙත් මෝසෙස් ජනතාවට පිළිතුරු දෙමින්, “භය වන්න එපා; ස්ථාවර ව සිටින්න. ස්වාමින්වහන්සේ අද දවසේ ඔබට සලසා දෙන ගැලවීම බලා සිටින්න. අද ඔබ දකින මේ ඊජිප්තුවන්, යළි කිසි දින ඔබට දකින්නට ලැබෙන්නේ නැත. ස්වාමින්වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ කළ යුත්තේ නිශ්චල ව සිටීම පමණකැ” යි කීවේ ය. එවිට ස්වාමින්වහන්සේ මෝසෙස් ඇමතූ සේක්, “කුමට ද නුඹ මට මොර ගසන්නේ? ඉදිරියට යන්නැයි ඉශ්‍රායෙල් ජනයාට කියන්න. ඔබේ සැරයටිය ඔසවා, ඔබේ අත මුහුදට දිගු කර, ජලය දෙබෑ කරන්න. එවිට ඉශ්‍රායෙල් ජනයාට මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත හැකි වනු ඇත. මම, ඊජිප්තුවරුන්ගේ හදවත් දැඩි කරන්නෙමි. එවිට ඔවුන් ඉශ්‍රායෙල්වරුන් පසු පස ලුහුබඳිනු ඇත. මෙසේ පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ හා ඔහුගේ අසරුවන් ද ඇතුළු ඔහුගේ මුළු හමුදාව ද හේතු කොට මම ගෞරව මහිම අත්කර ගනිමි. පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ හා ඔහුගේ අසරුවන් ද හේතු කොට මා ගෞරව මහිම ලත් කල, මා ස්වාමින්වහන්සේ වග ඊජිප්තුවරුන් දැනගනු ඇතැ” යි පැවසූ සේක. එතෙක් ඉශ්‍රායෙල් සේනාංකයට පෙරටුවෙන් ගමන් ගත් දෙවියන්වහන්සේගේ දූතයා එතැනින් මෑත් වී, ඔවුනට පිටුපසින් යන්නට වන්නේ ය. ඔවුනට පෙරටුවෙන් වූ වලා ටැඹ ද මෑත් වී, ඔවුනට පිටුපසින් පිහිටා, ඊජිප්තු සේනාංක හා ඉශ්‍රායෙල් සේනාංක අතරට පැමිණියේ ය. එහි වලාවත්, අන්ධකාරයත් විය. මෙසේ දෙගොල්ල එකිනෙකාට ළං වීමක් නො වී, රැය ගත විණ. මෝසෙස් මුහුද දෙසට තම අත දිගු කළේ ය. එවිට ස්වාමින්වහන්සේ මුළු රැය පුරා පෙරදිග සැඬ සුළඟකින් මුහුද ආපසු ගලා යවා, මුහුද වියළි බිමකට හැරවූ සේක. මෙසේ ජලය දෙබෑ කෙරිණ. ඉශ්‍රායෙල් ජනයා මුහුද මැදින් වියළි බිම දිගේ ගමන් ගත්හ. මුහුදු ජලය ඔවුනට දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් පිහිටා සිටුයේ ය. ඊජිප්තුවරු ඔවුන් ලුහුබැන්දෝ, පාරාවෝගේ අශ්වයින් ද යුද්ධ රථ හා අසරුවන් ද ඔවුන් පසු පස මුහුදට වන්නෝ ය.

නික්මයාම 14:8-23 Sinhala Revised Old Version (SROV)

ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය. ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය. මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය. ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්ට කියන්න. නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය. බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි. මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක. ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය. ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්‍රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයදවිය, එහෙත් එය රාත්‍රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය. මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේ ද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.

නික්මයාම 14:8-23 Sinhala New Revised Version (NRSV)

සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය. මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ. පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ. ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? ‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ. මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න. බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.” ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී, මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය ගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ. මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය. ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ.

නික්මයාම 14:8-23 Sinhala New Revised Version 2018 (SNRV)

නික්මයාම 14:8-23 New International Version (NIV)

The LORD hardened the heart of Pharaoh king of Egypt, so that he pursued the Israelites, who were marching out boldly. The Egyptians—all Pharaoh’s horses and chariots, horsemen and troops—pursued the Israelites and overtook them as they camped by the sea near Pi Hahiroth, opposite Baal Zephon. As Pharaoh approached, the Israelites looked up, and there were the Egyptians, marching after them. They were terrified and cried out to the LORD. They said to Moses, “Was it because there were no graves in Egypt that you brought us to the desert to die? What have you done to us by bringing us out of Egypt? Didn’t we say to you in Egypt, ‘Leave us alone; let us serve the Egyptians’? It would have been better for us to serve the Egyptians than to die in the desert!” Moses answered the people, “Do not be afraid. Stand firm and you will see the deliverance the LORD will bring you today. The Egyptians you see today you will never see again. The LORD will fight for you; you need only to be still.” Then the LORD said to Moses, “Why are you crying out to me? Tell the Israelites to move on. Raise your staff and stretch out your hand over the sea to divide the water so that the Israelites can go through the sea on dry ground. I will harden the hearts of the Egyptians so that they will go in after them. And I will gain glory through Pharaoh and all his army, through his chariots and his horsemen. The Egyptians will know that I am the LORD when I gain glory through Pharaoh, his chariots and his horsemen.” Then the angel of God, who had been traveling in front of Israel’s army, withdrew and went behind them. The pillar of cloud also moved from in front and stood behind them, coming between the armies of Egypt and Israel. Throughout the night the cloud brought darkness to the one side and light to the other side; so neither went near the other all night long. Then Moses stretched out his hand over the sea, and all that night the LORD drove the sea back with a strong east wind and turned it into dry land. The waters were divided, and the Israelites went through the sea on dry ground, with a wall of water on their right and on their left. The Egyptians pursued them, and all Pharaoh’s horses and chariots and horsemen followed them into the sea.