සමිඳාණන් වහන්සේ මිසරයේ රජු වන පාරාවෝගේ සිත දැඩි කළ සේක. ඔහු ජයාන්විත ව රටින් පලා යන ඉශ්රායෙල් ජනයා ලුහුබැඳ ගියේ ය. මිසර වාසීහු ඔවුන් ලුහුබැඳ ගියහ. පාරාවෝගේ සියලු අසුන් ද යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද හමුදාව ද සමඟ ඔවුන් ලුහුබැඳ ගොස්, බාල්-ශෙපොන් නම් ස්ථානයට මූණ ලා පී-හාහිරොත් නම් ස්ථානය අසල මුහුදුබඩ කඳවුරු බැඳ සිටි ඔවුන්ට ළඟා වූ හ. පාරාවෝ ළං වූ විට ඉශ්රායෙල් ජනයා හිස් ඔසවා බලා තමන් පසුපස මිසර වාසීන් එනු දැක, මහත් සේ බිය වී සමිඳාණන් වහන්සේට මොරගැසූ හ. ඔව්හු මෝසෙස්ට කතා කොට, “මේ පාළුකරයේ මැරෙන්නට අප ගෙනාවේ මිසරයේ මිනීවළවල් නැති නිසා ද? මිසරයෙන් අප පිටත ගෙනවුත් අපට මෙලෙස කරන්නේ මන් ද? ‘මිසර වාසීන්ට වහල් මෙහෙවර කරන්නට අපට ඉඩ දුන මැනවැ’යි ඔබට මිසරයේ දී කීවේ මේ නිසා නො වේ ද? පාළුකරයේ මියයනවාට වඩා මිසර වාසීන්ට වහල් මෙහෙවර කළා නම් හොඳ නො වේ දැ”යි ඇසූ හ. මෝසෙස් සෙනඟට පිළිතුරු දෙමින්, “බිය නොවන්න, ස්ථිර ව සිටින්න, සමිඳාණන් වහන්සේ අද ඔබ ගළවාලන පිණිස උන් වහන්සේ ඉටු කරන දේ ඔබ දකින්නහු ය. අද ඔබ දකින මිසර වාසීන් මින්පසු ඔබ කවදා වත් නොදකින්නහු ය. උන් වහන්සේ ඔබ උදෙසා සටන් කරන සේක. ඔබ නිශ්චල ව සිටිය යුතු ය”යි කී ය. සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න. බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.” ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී, මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය ගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ. මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය. ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ.
නික්මයාම 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 14:8-23
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ