ස්වාමීන්වහන්සේ මිසරයේ රජවූ ඵාරාවෝගේ සිත දැඩි කළසේක, ඔහු ඉශ්‍රායෙල් පුත්‍රයන් ලුහුබැඳ ආයේය. මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයෝ ධෛර්යවත් ලෙස නික්ම ගියෝය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අසුන් සහ රථද ඔහුගේ අසරුවෝද ඔහුගේ සේනාවද ඔවුන් ලුහුබැඳ විත් බාල්-ශෙඵොන් ඉදිරිපිට පී-හහීරොත්හි මුහුදුබඩ කූඩාරම් ගහගන සිටි ඔවුන්ට ළංවූය. ඵාරාවෝ ළංවූ කල්හි ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමන්ගේ ඇස් ඔසවා මිසරවරුන් තමන් පස්සේ එනවා දැක අතිශයින් භයවූවෝය. එබැවින් ඉශ්‍රායෙල් පුත්‍රයෝ ස්වාමීන්වහන්සේට මොරගැසුවෝය. ඔව්හු මෝසෙස්ට කථාකොට: කාන්තාරයෙහි මැරෙන්ට නුඹ අප ගෙනාවේ මිසරයෙහි මිනීවළවල් නැති නිසාද? මිසරයෙන් අප ගෙනවුත් අපට මෙලෙස ක්‍රියා කෙළේ මක්නිසාද? මිසරවරුන්ට මෙහෙකරන්ට අප අත්හරින්ටය කියා මිසරයෙහිදී අප කීවේ මේක නොවේද? වනාන්තරයෙහි මැරෙනවාට වඩා මිසරවරුන්ට මෙහෙකිරීම අපට යහපතැයි මෝසෙස්ට කීවෝය. මෝසෙස්ද: භයනොවන්න, නිශ්චලව සිට ස්වාමීන්වහන්සේ අද නුඹලාට සිදුකර දෙන ගැළවීම බලන්න. මක්නිසාද නුඹලා අද දුටු මිසරවරුන් නැවත තවත් කවදාවත් නොදක්නහුය. ස්වාමීන්වහන්සේ නුඹලා උදෙසා සටන්කරනසේක, නුඹලා නිශ්ශබ්දව සිටිය යුතුයයි සෙනඟට කීවේය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: නුඹ කුමක්හෙයින් මට මොරගසන්නෙහිද? ඉශ්‍රායෙල් පුත්‍රයන්ට ඉදිරියට යන්ට කියන්න. නුඹේ සැරයටිය ඔසවා නුඹේ අත මුහුද කෙරෙහි දිගුකොට ඒක බෙදන්න. ඉශ්‍රායෙල් පුත්‍රයෝ මුහුද මැදට වියළි භූමිය පිට යන්නෝය. බලව, මම වනාහි මිසරවරුන්ගේ සිත් දැඩිකරන්නෙමි, ඔව්හු මොවුන් පස්සේ යන්නෝය. මම ඵාරාවෝද ඔහුගේ මුළු සේනාවද ඔහුගේ රථ සහ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලබන්නෙමි. මා ඵාරාවෝද ඔහුගේ රථද ඔහුගේ අසුරුවන්ද කරණකොටගෙන ගෞරව ලැබූ කල්හි මම ස්වාමීන්වහන්සේ බව මිසරවරු දැනගන්නෝයයි කීසේක. ඉශ්‍රායෙල්වරුන්ගේ සමුදාවට පෙරටුව ගිය දෙවියන්වහන්සේගේ දූතයා අහක්ව ඔවුන්ට පස්සෙන් ගියේය; වලාටැඹද ඔවුන් ඉදිරිපිටින් අහක්ව ඔවුන්ට පස්සෙන් සිටියේය. ඒක මිසරවරුන්ගේ සමුදාවත් ඉශ්‍රායෙල්ගේ සමුදාවත් අතරට පැමුණුණේය; මෙසේ වලාකුළද අන්ධකාරයදවිය, එහෙත් එය රාත්‍රියෙහි එළිය දුන්නේය. මෙසේ මුළු රාත්‍රියෙහි එක් පක්ෂය අනික් පක්ෂයට ළං නොවීය. මෝසෙස් තමාගේ අත මුහුදට උඩින් දිගුකෙළේය. ස්වාමීන්වහන්සේ ද ඒ මුළු රාත්‍රියෙහි බලවත්වූ නැගෙනහිර සුළඟක් කරණකොටගෙන මුහුද ආපසු යන්ට සලස්වා මුහුද ගොඩබිමක් කළසේක, ජලද බෙදීගියේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝ වියළි භූමිය පිට මුහුද මැදට ගියෝය. ජලය ඔවුන්ගේ දකුණු පැත්තෙන්ද වම් පැත්තෙන්ද ඔවුන්ට තාප්පයක් මෙන් විය. මිසරවරු එනම් ඵාරාවෝගේ සියලු අශ්වයෝද ඔහුගේ රථද ඔහුගේ අසරුවෝද ලුහුබඳවා ඔවුන් පස්සේ මුහුද මැදට ගියෝය.
නික්මයාම 14 කියවන්න
බෙදාගන්න
සියලුම අනුවාද සසඳන්න: නික්මයාම 14:8-23
බයිබල් පද ලකුණු කරගන්න, අන්තර්ජාලය නොමැතිව බයිබලය කියවන්න, බයිබලය අධ්‍යනය කරන කුඩා වීඩියෝ පටි නරඹන්න සහ තවත් බොහෝමයක්!
නිවස
බයිබලය
සැලසුම්
වීඩියෝ