එස්තර් 1:9-18

එස්තර් 1:9-18 සිංහල කාලීන පරිවර්තනය (SCV)

වෂ්තී බිසව ද අහෂ්වේරොෂ් රජුගේ මාලිගයේදී කාන්තාවන් සඳහා ප්‍රිය සාදයක් පැවැත්වූවා ය. හත් වන දවසේ රජු මිදි යුෂ පානයෙන් ප්‍රමුදිත ව සිටියදී, රජු ඉදිරියේ මෙහෙවර කළ මෙහූමාන්, බිස්සෙතා, හර්බෝනා, බිග්තා, අබග්තා, සේතර් හා කර්කස් යන නපුංසක නිලධාරීන් හත් දෙනාට නියෝග කළ අහෂ්වේරොෂ් රජු, වෂ්තී බිසව ඇගේ රාජකීය ඔටුන්න පලඳා, තමන් ඉදිරියට කැඳවා එන ලෙස අණ කළේ, බලන්නට ලස්සන ඇගේ රූ සිරි ජනතාවටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ය. එහෙත් රාජ නපුංසකයින් රජුගේ නියෝගය දැන් වූ කල, වෂ්තී බිසව පැමිණීම ප්‍රතික්ෂේප කළා ය. එවිට රජු කෝපයෙන් වියරුව, තරහින් ඇවුළුණේ ය. නීතිය හා විනිශ්චය පිළිබඳ කරුණුවලදී විශාරද උපදෙස් විමසීම රජුගේ සිරිත වූ බැවින් රජු කාලයන් දන්නා ප්‍රාඥයින් විමසී ය. රජුට වඩාත් සමීප වූත්, රජුගේ මුහුණ දැකීමේ අවසරය ලත් රාජ්‍යයේ මුලින් ම අසුන් ගන්නන් වූත්, පර්සියා හා මේදියා අධිපතීන් හත්දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා හා මෙමූකාන් ඇමතූ රජු, “නීතියට අනුව වෂ්තී බිසවට කළ යුත්තේ කුමක් ද? නපුංසක නිලධාරීන් විසින් ඇය වෙත ගෙන යන ලද අහෂ්වේරොෂ් රජුගේ නියෝගයට ඇය අකීකරු වී ඇතැ” යි කීවේ ය. එවිට රජු ද අධිපතීන් ද ඉදිරියෙහි පිළිතුරු දුන් මෙමූකාන්, “වෂ්තී බිසව වරද කර ඇත්තේ, රජුට එරෙහිව පමණක් නො වේ; සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු ප්‍රාන්තයන්හි ජනතාවටත් එරෙහිවයි. මන්ද බිසවගේ හැසිරීම කාන්තාවන් හැමට දැනගන්නට ලැබුණු විට, ඔවුන් තම සැමියනට ගර්හා කොට, ‘අහෂ්වේරොෂ් රජු තමන් ඉදිරියට වෂ්තී බිසව පමුණු වන්නට අණ දුන් නමුත්, ඈ පැමිණියේ නැතැ’ යි කියනු ඇත. බිසවගේ හැසිරීම ගැන අසන පර්සියාවේ හා මේදියාවේ කුල කාන්තාවන්, මේ අද දවසේ ම රජුගේ අධිපතීන්ටත් ඒ අයුරින් ම ප්‍රතිචාර දක්වනු ඇත. මේ ගරු සරු නැතිකමේත්, විරෝධයේත් නිමක් නො වනු ඇත.

එස්තර් 1:9-18 Sinhala Revised Old Version (SROV)

වස්තී බිසවද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කෑමක් දුන්නාය. සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස, ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය. නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකැමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය. එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥාවන්තයන්ට කථාකොට: අහෂ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්තී බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක්කළයුතුදැයි ඇසුවේය. මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය. ඔහු ළඟම සිටියේ රජුගේ මුහුණ දැක රාජ්‍යයේ ප්‍රධාන ස්ථානයෙහි ඉඳගත්තාවූ, පාර්සියාවේද මේදියාවේද අධිපතීන් සත්දෙනාවන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා සහ මෙමූකාන්ය. මෙමූකාන් රජු සහ අධිපතීන් ඉදිරියෙහි උත්තරදෙමින්: වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලුම ජාතීන්ටත් වරදක් කළාය. මක්නිසාද බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැලවුණාම: අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්ට අණකළ නුමුත් ඈ ආවේ නැතැයි ඔවුන් කියා තමුන්ගේ පුරුෂයන් සුළුකොට සිතනවා ඇත. පාර්සියාවේද මේදියාවේද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතීන්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත.

එස්තර් 1:9-18 Sinhala New Revised Version (NRSV)

ඒ අතරතුර, වස්තී බිසව ද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේ දී ස්ත්‍රීන්ට මංගල්‍ය භෝජනයක් දුන්නා ය. සත් වන දා රජුගේ සිත මුද්‍රික පානයෙන් පිනාගිය විට, අහෂ්වේරොෂ් රජ තමාට සේවය කළ මෙහුමාන් ද බිශ්තා ද හර්බෝනා ද බිග්තා ද අබගතා ද සේතර් ද කර්කස් ද යන නපුංසකයන් සත් දෙනා කැඳවී ය. වස්තී බිසව ඉතා සුරූපී නිසා ඇගේ අලංකාරය සිය සෙනඟටත්, අධිපතීන්ටත් පෙන්වන පිණිස ඇගේ රාජකීය කිරීටය ද පළඳවාගෙන ඈ තමා ඉදිරිපිටට කැඳවාගෙන එන්නට රජ ඔවුන්ට අණ කෙළේ ය. එහෙත්, නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු ව රජු වෙත එන්නට වස්තී බිසව අකමැති වූවා ය. එබැවින් රජ තෙමේ තදින් කිපිණි. ඔහු කෝපාග්නියෙන් දැවිණි. එවිට රජ තෙමේ නීතිය හොඳින් දත් නැණවතුන්ට කතා කෙළේ ය. එසේ කෙළේ, නීතියත්, ආගමත් පිළිබඳ කටයුතු මනා ලෙස දත් සියලු දෙනාගෙන් කරුණු විමසීම රජුගේ පුරුද්ද වී තිබුණ බැවිනි. මොවුන් අතරෙන් රජුට ඉතා හිතවත් වූ ද රජු ඉදිරියට නිදහසේ පැමිණීමේ වරය ලද්දා වූ ද අය නම්, පර්සියාවේ ද මේදියාවේ ද අධිපතීන් සත් දෙනා වන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සේනා සහ මෙමුකාන් ය. රජ ඔවුන් අමතා, “නපුංසකයන් අත රජු කියා යැවූ අණට කීකරු නොවූ වස්තී බිසවට නීත්‍යනුකූල ව කුමක් කළ යුතු දැ”යි ඇසී ය. රජු ද අධිපතීන් ද ඉදිරියෙහි මෙමුකාන් පිළිතුරු දෙමින්, “වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත්, අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලු ම ජාතීන්ටත් වරදක් කර ඇත. මන්ද, බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැළ වුණ විට, ‘අහෂ්වේරොෂ් රජතුමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්නට අණ කළ නමුත් ඈ නොපැමිණියා ය’යි ඔවුන් කියා තමන්ගේ පුරුෂයන් සුළු කොට සිතනු ඇත. පර්සියාවේ ද මේදියාවේ ද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැළ වුණු විට, රජුගේ සියලු අධිපතීන්ට එපවත් අද දවසේ දී ම කියනු ඇත. ඒ හේතුවෙන් අපහාස ද උදහස ද බොහෝ සෙයින් හට ගනු ඇත.

එස්තර් 1:9-18 New International Version (NIV)

Queen Vashti also gave a banquet for the women in the royal palace of King Xerxes. On the seventh day, when King Xerxes was in high spirits from wine, he commanded the seven eunuchs who served him—Mehuman, Biztha, Harbona, Bigtha, Abagtha, Zethar and Karkas— to bring before him Queen Vashti, wearing her royal crown, in order to display her beauty to the people and nobles, for she was lovely to look at. But when the attendants delivered the king’s command, Queen Vashti refused to come. Then the king became furious and burned with anger. Since it was customary for the king to consult experts in matters of law and justice, he spoke with the wise men who understood the times and were closest to the king—Karshena, Shethar, Admatha, Tarshish, Meres, Marsena and Memukan, the seven nobles of Persia and Media who had special access to the king and were highest in the kingdom. “According to law, what must be done to Queen Vashti?” he asked. “She has not obeyed the command of King Xerxes that the eunuchs have taken to her.” Then Memukan replied in the presence of the king and the nobles, “Queen Vashti has done wrong, not only against the king but also against all the nobles and the peoples of all the provinces of King Xerxes. For the queen’s conduct will become known to all the women, and so they will despise their husbands and say, ‘King Xerxes commanded Queen Vashti to be brought before him, but she would not come.’ This very day the Persian and Median women of the nobility who have heard about the queen’s conduct will respond to all the king’s nobles in the same way. There will be no end of disrespect and discord.