එස්තර් 1:9-18

එස්තර් 1:9-18 SROV

වස්තී බිසවද අහෂ්වේරොෂ් රජුට අයිති මාලිගාවේදී ස්ත්‍රීන්ට මංගල්‍ය කෑමක් දුන්නාය. සත්වෙනිදා රජුගේ සිත මුද්‍රිකපානයෙන් පිනාගිය විට, වස්තී බිසව පෙනීමට ඉතා ලක්ෂණ නිසා ඇගේ අලංකාරකම ජනයන්ටත් අධිපතීන්ටත් පෙන්වන පිණිස, ඈට ඔටුන්න පළඳවා රජු ඉදිරිපිටට කැඳවාගෙන එන්ට අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියෙහි සේවයකළාවූ මෙහූමාන්ද බිස්තාද හර්බෝනාද බිග්තාද අබග්තාද සේතර්ද කර්කස්ද යන නපුංසකයන් සත්දෙනාට අණකෙළේය. නුමුත් නපුංසකයන් අත රජු කියා ඇරිය අණට එන්ට වස්තී බිසව අකැමැතිවූවාය. එබැවින් රජ ඉතා උදහස්වී, ඔහුගේ කෝපය ඔහු තුළ ඇවුළුණේය. එවිට රජ කාලයන් දන්නාවූ ප්‍රඥාවන්තයන්ට කථාකොට: අහෂ්වේරොෂ් රජ නපුංසකයන් අත කියා ඇරිය ආඥාව වස්තී බිසව ඉෂ්ටනොකළ බැවින් නීතිය ප්‍රකාරයට ඈට මක්කළයුතුදැයි ඇසුවේය. මක්නිසාද රජුගේ කාරණා නීතියත් විනිශ්චයත් දන්න සියල්ලන් ඉදිරියට පමුණුවන සිරිතක් තිබුණේය. ඔහු ළඟම සිටියේ රජුගේ මුහුණ දැක රාජ්‍යයේ ප්‍රධාන ස්ථානයෙහි ඉඳගත්තාවූ, පාර්සියාවේද මේදියාවේද අධිපතීන් සත්දෙනාවන කර්ෂෙනා, ෂේතාර්, අද්මාතා, තර්ෂිෂ්, මෙරෙස්, මර්සෙනා සහ මෙමූකාන්ය. මෙමූකාන් රජු සහ අධිපතීන් ඉදිරියෙහි උත්තරදෙමින්: වස්තී බිසව රජුට පමණක් නොව සියලු අධිපතීන්ටත් අහෂ්වේරොෂ් රජුගේ සියලු රටවල සිටින සියලුම ජාතීන්ටත් වරදක් කළාය. මක්නිසාද බිසවගේ මේ ක්‍රියාව සියලු ස්ත්‍රීන්ට සැලවුණාම: අහෂ්වේරොෂ් රජ තමා ඉදිරියට වස්තී බිසව කැඳවාගෙන එන්ට අණකළ නුමුත් ඈ ආවේ නැතැයි ඔවුන් කියා තමුන්ගේ පුරුෂයන් සුළුකොට සිතනවා ඇත. පාර්සියාවේද මේදියාවේද වංශවත් ස්ත්‍රීන්ට බිසවගේ ක්‍රියාව ගැන සැලවුණාම රජුගේ සියලු අධිපතීන්ට අද දවසේදී එසේම කියනවා ඇත. එයින් සුළුකම්කිරීමද උදහසද බොහෝසෙයින් හටගන්නවා ඇත.

මෙයට අදාළ වීඩියෝ

එස්තර් 1:9-18 සම්බන්ධව නිදහස් කියවීමේ සැලසුම් සහ පූජනීයත්වය